ගිණි අඟුරට රත් වී එන
ගත දවනා දාහය මැද
වෙහෙසෙන විට
සිත මෙන් ගත
දැනෙනව පෙර ලෙස
බැරි බව
ගිණි අඟුරට ලෝ පතුරට
බිලි දී මුළු යෞවනයම
තාත්ත නැති මුළු පවුලම
ගොඩ ගත්තා මං හැකි ලෙස
දොස්තර නංගී නාවට
අම්මා ලෙඩ වී වැටුණම
දවස් ගණන් මං උන්නා
වාට්ටුවේ බිම ඉඳගෙන
ගම් දෙකකට එහා පැත්තෙ
මල්ලි දිසාපති උනාට
නිකමටවත් ආවේ නෑ
අම්මගෙ මළ ගේ දිහාට
උං නාවට හත් දවසෙයි
තුන් මාසෙයි දානය මම
ගිහින් දුන්නා දන් කඳ බැඳ
කඳු මුදුනේ විහාරයට
ගිනි අඟුරට ගත දැවුනට
වානෙට දෑතම කැපුණට
දැනෙන්නෙ නෑ
හිතට දුකක්
අද මං තනි වී උන්නට
පාළුව තනි කම යන්නට
යකඩ එක්ක මං හැපුනට
දන්නව මං තනියෙන් බව
අම්මා නැති මුළු සසරෙම

No comments:
Post a Comment