Saturday, December 18, 2021

මතක

 ඉතිරි කර ගිය මතක

බෝතලේ අඩිය මත
තියෙනවා තව
බිල ගෙවීමට
මොහොතකට පෙර
නැවතුණු තැන


Tuesday, December 14, 2021

ජීවිතේ හරි සැපයි

 මල් පිපෙන තැන් වල

තව තව සුවඳ මල් පිපුණම
ඒ මල් ගොමුවෙ සුවඳට
එතැන දාලා යන්නෙ කොහොමද
දාලා නොගිය මල් ගොමුවක
සුවඳ පොද එක්කාසු කර ගෙන
හිත පුරව ගත්තම
දැනෙන සැනසුම කොච්චරක්වද
ඒ දැනෙන සැනසුම
හිතේ එක් මුලල්කට තද කර
අගුළු දා ගත්තම
ජීවිතේ හරි සැපයි ඇත්තට



නුඹ ගැන සුව මතක

 මීදුම් තිර ඉරන

හිරු රැස් වැටී දිලිහෙන
තණ පත් අග රැඳුණු
පිනි බිඳු සෙමින් වියැළෙන
අතු අග පිපී හිනැහෙන
මල් වල සුවඳ විහිදෙන
කාලය ගෙවී වියැකුණු
කොළ අතු අගින් ගිලිහෙන
නුඹ ගැන සුව මතක
තව හිත් කෙණේ ගැවසෙන
එනමුදු ඒ සුවඳ
දැන් හෙමි හෙමින් මියැදෙන



වැහි බර සැඳෑවක

 ඉස්සරම ඉස්සර

එකෝමත් එක දවසක
වැහි බර සැඳෑවක
අපි
තෙමි තෙමී
ඔහේ යනකොට
මග අයිනෙ කඩයක
තිබුණ
‘අනේ එක ලස්සනයි’
ඔබ කීව
කහ කුඩය
තවම ඔබ ළඟ......
ඒ කුඩේ යට
තුරුල් වී තෙමී නොතෙමී
ගිය මම
තනිව
මේ කුඩේ යට



නුඹ දිනෙක එනතුරු

 මේ මල් අතින් අරගෙන

එනතුරු දිනෙක සවසක
මං මග බලං හිටි වග
දන්නෙ නැතුවා ඇති
සමහර විටෙක ඔබ තව
මල් පිපුණු උදයෙක
එක් කර ගත්තු මල් මිට
තද කරං එක අතකට
බලං උන්නා මං
ඔබ එතැයි ඒ දවස ඇතුලත
හිරු බැසයද්දි සවසට
මල් පෙති පරවෙවී වැටුණම
හරි බර සුසුම්
තද කරං මං පපුවට
ගැලෙව්වා අලවලා තිබ්බ ඇස් පාරට
යළි කිසි දිනෙක නාවට
මං මග බලං උන්නෙ නැතිවට
මා උන් තැන පිපුණු
කඳුළු මල හිඳී
නුඹ දිනෙක එනතුරු