Friday, October 24, 2014

පේමෝතිගෙ ළමයි


උදයෙන්ම නැගිට
ලිප මුල්ලෙ පෙළට
වාඩි වී ඉන්න
තේ ඩිංග බොන්න
ඊට පස්සේ ගිහිං
මූණ කට දොවන
උං
පේමෝතිගෙ ළමයි

ආප්පත් රැගෙන
කඩපිලට දුවන
දුවන්නට කළිං
අම්මටත් වඳින
අනිත් උන්ටත් කළිං
ඉස්කෝලෙ දුවන
උං
පේමෝතීගෙ ළමයි

ඉගෙනුමට දක්‍ෂ
දුවන්නත් දක්‍ෂ
වොලිබෝල් ගහන
ගුරුවරුන් කැමති
හැබැයි
ලොකු ටීච බනින
උං
පේමෝතිගෙ ළමයි

ලොකු එකා දොළහෙ
පොඩි එකා හතරෙ
දෙවනියා දහයෙ
කෙල්ල නම් නවයෙ
උංට උන් කිට්ටු
ආදරෙන් වැඩුණු
උං
පේමෝතිගෙ ළමයි

ලොකු එකා සමන්
මහත්තැන් කෙනෙක්ගෙලු
දෙවනියා පියල්
කඩේ මුදලාලිගෙලු
කාන්තිගෙ හැඩේ
ලොකු ටීචගෙ දුවගෙමලු
පොඩි එකා නං ඉතිං
පියරත්නයා ගෙමලු
ඒත් උං
පේමෝතිගෙ ළමයි

වැලට බර නැතිව
හරි හොඳට හැදෙන
කතන්දර අහං
ඒවාට අඩන
ඒ අඩන ගමං
හයියටත් හිතන
උං
පේමෝතිගෙ ළමයි


යන්න

ඔබට එපා නම්
ඔබත් එක්ක යළි
එන්නේ නෑ මං
කවදාවත්
ඔබෙ සුවඳත් ගෙන
ඔබ යනවා නම්
තනිවී ඉන්නම්
හැමදාමත්

ඔබ මගෙ ළඟඋන්
මතකයේ සුවඳට
හිත පෙම් කරනව 
නේ තාමත්
නුඹ මගෙ නොවුනත්
මගේ හිත තවත්
ඔබව සොයනවා
ළඟ නැතිවත්

සුවඳත් අරගෙන
යන්න ගියෝතින්
යළිත් නෑවිදින්
කිසිදාකත්
තද කරගෙන මං
මගෙ හිත ආයිත්
තනිවෙනවාමයි
හැමදාමත්

Sunday, October 12, 2014

යාල් දේවී එනතුරු

යාල්පානමේ
අලුත් ස්ටේසමේ
වහල හදන්නයි
මං ආවේ
පිච්ච මල් පිපුණු
නුඹේ වරලසයි
මුල් ම වරට
මගෙ නෙත ගැටුණේ
හිනා හංගාන
දෑස් උඩ බැලුව
දිනෙක නුඹ මාව
නෑ දුටුවේ
වෑල්ඩිං කූරු
මල් මතින් මැවුණු
වෙස් මුහුණ පමණි
ඔබ දුටුවේ
මද සිනා පාන
දෙනෙත් හංගාන
වහල යට නිතර
පා නැගුවේ
නල්ලූර් යන්න
කෝවිලට එන්න
ඒ හිනා මටත්
මග කීවේ
දෑත් අල්ලාන
නාගදීපේ කොණක
නෙතින් නෙත් බලා
අපි හිටියේ
නිදි නැතිව ගෙවුණු
පුරා දින හැටක
අන්තිමම දිනය
හෙට එළිවේ
නුඹ නැතිව ගමට
යන්නෙ මං කෝම
යාල් දෙවියෙ නැගී
යමු දේවී

Wednesday, October 1, 2014

දුක

හිත ළඟ
ළඟ අය
දුර දුර
යනාකොට
දුර බව
දැණුනම
හිතත් රිදෙනකොට
හිත රිදි
රිදි රිදි
කඳුළු වැයෙනකොට
ළඟට එනව නම්
හොඳයි හිතෙනකොට
දැනෙන දුක තරම
බරයි බොහොමකොට

එන්න එපා

මං ගැන නොහිතා
මා ගැන නොසොයා
ඉන්නකො ඈතින්
ළඟට නෑවිදින්
තද කර අල්ලං
මා හිත හැඟුමන්
කරන විකාරය
නවතමු දැන්වත්
ඉන්නම් මං
ගල් කරගෙන සිහියත්
එන්න එපා
මගෙ හදට ආයිමත්