Wednesday, June 10, 2015

සිහින මාවත



දිනපතා දහස් ගණනකගේ පා නොගැටෙන,ඒත් අවුරුදු ගානක් පුරා දහස් ගානකගෙ පා ගැටුණු පාරක් අයිනෙ රූස්ස ගහක් තිබුණා. ඒ පාර දිගේ යන එන බොහෝ අය තද අව්ව වෙලාවට හෙවනක් හොයා ගන්නත්, තද වැස්ස වෙලාවට හෙවනක් හොයා ගන්නත් මේ ගහ යට නැවතිලා ගිහිං තිබුණා. ඒත් ඒ කිසි කෙනෙක් ඒ ගහ ගැන කිසි සැලකිල්ලක් දක්වලා තිබුණෙ නෑ. ඒ ගහ මොන වර්ගයට අයිති ගහක් ද, ඒ ගහේ ඉතිහාසය මොන වගේද, ඒ ගහේ මල් පිපෙනවද කියලා හොයන්න කිසිම කෙනෙකුට උවමනාවක් තිබුණෙ නෑ. තමන් ගැන හොයනවද නැද්ද කියන එක වගේ වගක් නැතිව වගේ ඒ රූස්ස ගහ හැමදාම, එකම විදියට, එකම තැන, එකම විදියට තිබුණා.

කාටත් අමතක වෙලා තිබුණු, මේ ගහ ගැන හොඳින්ම දන්න දෙන්නෙක් මේ ගමේ ජීවත් වුණා. ඒ දෙන්නා ජීවත් වුණේ ඒ ගහ තිබුණු පාරෙමයි. ඒත් කිසිම කෙනෙක් ඒ දෙන්නගෙන් මේ ගහ ගැන විස්තරයක් අහන්න කිසි දවසක  ගිහින් තිබුණෙ නෑ. ඒ, ඒ ගහ වගේම ඒ දෙන්නත් හැමෝටම දිනපතා දකින්න හම්බවෙන හින්දා වෙන්න ඇති. ගහේත්, මේ දෙන්නගේත් ලොකු සමාන කමක් තිබුණා. ඒ තමයි මේ තුන් දෙනාගෙම තිබුණු නිශ්ශබ්ධතාවය. ඒ මහා නිශ්ශබ්ධතාවය නිසා ම හැමෝටම ඒ තුන් දෙනාව අමතක වෙලයි තිබුණෙ.

එක්කෙනක් ජීවත් වුණේ ඉස්සෙල්ල කියපු රූස්ස ගහ තිබුණු පාර පටන් ගන්න තැනට ගෙවල් තුන හතරකට මෙහායින් තිබුණු ලොකු ඉඩමක තිබුණු පුංචි ගේක. ලස්සනට නඩත්තු කරපු ගෙඋයනක් තිබුණු ඒ ගේ, ඒ ගේ හදලා තිබුණු ඉඩමේ හැටියට පුංචි වැඩියි කියලයි ඒ ගේ දකින හැමෝම හිතුවෙ. මේ ඉඩමත් පාරත් වෙන් උනේ සුදුපාට ගාලා තිබුණු ලී වැටකින්. හොඳින් යතු ගාපු මේ ලී පටි වල උල් කෙරවල් වල මැද්දෙන් පුංචි රවුම් කපලා තිබුණා. කාමර දෙකක්, පුංචි කුස්සියක් එක්ක ඒ ගේ හැටියට දෙකෙන් පංගුවකටත් වැඩි ඉඩක් වෙන් වුණු, පොත් රාක්ක වලිං පිරුණු මේ ගෙදර හිටියෙ වයසක සීයා කෙනෙක්. හොඳට ඇඳ පැළැඳගෙන තේ පෝච්චියකුත් ළඟ තියාගෙන, ගෙදරයි පාරයි අතරෙ තිබුණු අර ජාතියෙ ම රූස්ස ගහක් යටට වෙලා, හාන්සි පුටුවක දිගෑදිලා පොත් කියවන මේ සීයා ඒ පාරෙ යන එන හැමෝටම හුරු පුරුදු දසුනක් වෙලා තිබ්බා. දන්න කියන හැමෝටම මතක තිබුණෙ හැමදාම උදේ වරුවයි හවස් වරුවයි පොත් කියවන සීයව විතරයි. ඒ ඇරෙන්න වෙන කිසිම කෙනෙක් ඒ සීයගෙ තනියට උන්නා කියලා කිසිම කෙනෙක්ට මතකයක් තිබුණෙ නෑ. 

පාරෙ යන කිසිම කෙනෙක් මේ සීයව දැක්කට කතා කළේ නෑ. ඒ තරමටම උදේ ඉඳලා ඉර මුදුන් වෙනකළුත්, ආයිම හැන්දෑවෙ ඉඳලා ඉර බැහැලා යනකළුත් පොත් කියවන මේ සීයා හැමෝටම බොහෝම හුරු පුරුදු දසුනක් වෙලා තිබුණා. මාසෙකට හෝ දෙහෙකට වතාවක් පොත් ගොන්නක් පිරුණු පාර්සලයක් අරං මෝටර් සයිකලයකින් එන තරුණයා ඇරෙන්න මේ සීයා එක්ක කතා කරලා තිබුණෙ හැම ඉරිදම සීයා බඩු ගන්න යන කඬේ මුදලාලියි, ගන්න බඩු ටික ගෙදරට ගෙනැවිත් දෙන ටැක්සි රියදුරයි විතරයි. කඬේදි හම්බවෙන හැම දෙනාම එක්ක සුහද හිනාවක් හුවමාරු කර ගත්තා මිසක් කිසිම කතා බහකට සීයා අවසර තිබ්බෙ නෑ. 

අනිත් කෙනා උන්නෙ පාර ඉවර වෙන තැනට කිට්ටුව තිබුණු තට්ටු දෙකේ ලොකු ගේක. තට්ටු දෙකක් කිව්වට දෙවැනි තට්ටුවෙන් උඩට හදලා තිබුණු පුංචි බැල්කනියත් එක්ක ගත්තම ඒ ගෙදර තට්ටු තුනක් කියන්න පුළුවන්. අර සීයගෙ තරමටම, එහෙමත් නැත්නම් ඊට වඩා අවුරුදු හතරක් පහක් බාලයි කියන්න පුළුවන් ආච්චි කෙනෙක් උදේටයි හවසටයි මේ බැල්කනියට වෙලා පොත් කියවනවා පාරෙ යන එන අය දැක්කා. ආච්චිව බලා ගන්න ගෑණු කෙනෙක් උන්නා. ආච්චිගෙ හැම වැඩක්ම කළේ ඒ ගෑණු කෙනා. ආච්චි කිසි කෙනෙක් එක්ක කතා නොකළට ඒ ගෑණු කෙනා නම් දකින  ඕනෙ කෙනෙක් එකක් කතා කරන්න සැදී පැහැදී හිටියා. ආච්චිට  ඕනෙ කරන අඩුම කුඩුම ගේන්න හැම සෙනසුරාදා හවස දෙකට විතර එළියට බහින මේ ගෑණු මනුස්සයා ආයම ඇතුලට එන්නේ හැන්දෑවෙ පහට විතර. ඒ සතියක  ඕප ¥ප එකතු කර ගන්න තියෙන නිසා. පාරෙදියි කඬේදියි හම්බ වෙන හැමෝ එක්කම විනාඩියකට හරි නැවතිලා අලූතින් එකතු වෙලා තියෙන  ඕපා ¥ප එකතු කර ගන්න මේ මනුස්සයා දැක්කුවෙ පුදුම උනන්දුවක්. 

සතියක් විතර නිහ`ඩතාවයේ ගිලිලා තියෙන මේ ගෙදර සද්දයක් ඇහෙන්නේ සෙනසුරාදා හැන්දෑවට තමයි. ඒ ඇහෙන්න එකම වචන ටිකක්. පරක්කු වීම ගැන බොහොම කේන්තියෙන් ආච්චිගෙන් පිටවෙන ඒ වචන ටික, අහල පහල අයටත්, ඒවා අහං උන්නු ගෑණු කෙනාටත් අහල අහල ම පුරුදු වෙලා තිබුණා. ඒ හින්දම, ඒ ගෙදර වෙලා ගෙන තිබුණු නිශ්ශබ්ධතාවය හැම සෙනසුරාදම හැන්දෑවෙ පහත් පහයි කාලත් අතර බිඳෙන එක කාටවත් වැඩිය දැණුනෙ නෑ. කියන්න අමතක වුණා, මේ ආච්චිගෙ ගෙදර මිදුලෙත් කොණකට වෙන්න අර ජාතියෙම රූස්ස ගහක් තිබුණා. ගහ මුලින් ම වගේ පුංචි බංකුවක් තිබුණා. ඒත් ඒ බංකුව හුඟ කාලෙකින් වාඩි වෙන්න පාවිච්චි කරලා තිබුණෙ නෑ. ඒ හින්දම බංකුව වැහෙන තරමට ම වගේ වල් වැවිලා තිබුණා. මේ බංකුවෙ හේත්තු වෙන කෑල්ලෙ තැන් දෙකක් අනිත් තැන් වලට වැඩිය මැදිලා තිබුණා. කාලාන්තරයක් පාවිච්චි කරලා තිබුණෙ නැති උනත්, ඒ පැල්ලම් දෙක මකන්න ස්වභාව ධර්මයාටත් බැරි වෙලා තිබුණා. 

මහා වැහි බීරිමක් තිබුණු අඟහරුවාදා දවසක හැන්දෑවෙ සීයට පොත් අරං එන තරුණයා බයිසිකලේ නැතිව පයින් සීයගෙ ගෙදරට එනවා කීප දෙනෙක්ම දැක්කා. වැහි බීරිම නිසා පොතත් අකුළං ගෙට යන්න හදපු සීයත් නොහිතපු වෙලාවක ආව මේ තරුණයාගෙ පැමිණීමෙන් වික්‍ෂිප්ත වෙලා තරුණයා දිහා ටිකක් වෙලා බලං උන්නා. කොහොම උනත් තරුණයා සීයා ළඟට ගිහිං කතා කරපු දේවල් වෙනත් කිසිම කෙනෙක්ට ඇහුණෙ නෑ. සීයාගෙ පුටුව ගේ ඇතුලට ගන්න උදව් වුණු තරුණයා සීයත් එක්ක ගෙට ගිහිං ගෙයි දොර වහගත්තා. 

පහුවදා උදේ සීයගෙ ගෙයි පහු කරං ගියපු මිනිස්සුන්ට හැමදාම දකින දසුනෙ වෙනසක් පෙනුනා. හාන්සි පුටුවෙ වාඩි වෙලා පොත් කියවන සීයට එහායින් තරුණයත් පුටුවක් තියා ගෙන පොතක් කියවමින් උන්නා. දෙන්න මැද්දෙන් තිබුණු තේ පොච්චියත් එක්ක එදා කෝප්ප දෙකක් ම තිබුණා. සීයා වෙනදා වගේ ම නිශ්ශබ්ධව පොත් කියෙව්වත්, තරුණයා පොත් කියවන අතරතුර දි ම පාරෙ යන එන අයට හිනාවකින් සංග‍්‍රහ කරන්න හිස එසෙව්වා. විටෙක සීයත් එක්ක වාඩි වෙලත්, තවත් විටෙක රූස්ස ගහත් වැටත් අතර තිබ්බ තණ බිස්සෙ ඇවිදිමිනුත් පොත් කියවන තරුණයා වැඩි දවසක් යන්න කළිං ගමේ හැමෝටම සුපුරුදු දසුනක් වුණා.

ඊළඟ ඉරිදා ඉඳලා සීයගෙ දින චරියාව වෙනස් වුණා. සීයා වෙනදා බඩු ගන්න යන වෙලාවටම සීයා එළියට බැස්සා. එත් සීයගෙ අතේ පොතක් තිබුණා. සීයා වෙනදා වගේ ම පොතත් අරන් ගෙවත්තට ගිහිං පුරුදු පුටුවෙ වාඩි වුණා. තරුණයා ගේට්ටුව ඇරගෙන බඩු ගේන්න යන්න පිටත් වුණා.

මගදි හම්බ වෙන හැමෝටම සුහද සිනාවකින් සංග‍්‍රහ කරමින් තරුණයා කඬේට ඇතුල් වුණා. තරුණයාගේ ඇතුල් වීමත් එක්කම කඬේ ඇතුලෙ ක්‍ෂණික නිශ්ශබ්ධතාවයක් ඇති වෙලා, ක්‍ෂණිකව බිඳිලා ගියා. කළින් දැකලා නැති වුණත්, ගමේ තියෙන  ඕපා ¥ප කිසි අඩුවක් නැතිව කඬේටත් ලැබෙන නිසා මේ සීයා ගාව නැවතිලා ඉන්න තරුණයා කියලා කඬේ මුදලාලි දැන ගත්තා. කඬේ උන්නු හැමෝම එක්ක සුහද සිනාවක් හුවමාරු කර ගත්ත තරුණයා, සීයගෙ බඩු ලිස්ට එක මුදලාලිට දුන්නා. ලිස්ට් එකක් නැතිවම උනත් සීයා අනිවාර්යයෙන් ම ගන්න බඩු මොනවද කියලා දන්න මුදලාලි කිසිම කලබලයක් නැතිව බඩු ටික තෝරන්න පටන් ගත්තා. තරුණයා වෙනුවෙන් වෙන් වුණු බඩු කීපයක් ඇරෙන්න, වෙනදා ගන්න බඩු ලිස්ට් එකේ වැඩි වෙනසක් තිබුණෙ නෑ.

සල්ලි ගෙවද්දි මුදලාලිත් එක්ක තරුණයා වචන කීපයක් හුවමාරු කර ගත්තා. තරුණයාගෙ වතගොත සියල්ල නොවුණත්, සමහරක් තැන් අල්ල ගන්න ඒ වචන කීපය මුදලාලිට රුකුලක් වුණා.  ‘ඒ වජිරරත්න මහත්තයාගෙ නෑයෙක් නෙවෙයි. කාලයක් වජිරරත්න මහත්තයාට පොත් ගෙනත් දුන්නු හාදයෙක්. කූරියා කොම්පැනියක වැඩ කරලා තියෙන්නෙ. කාලයක් පොත් ගෙනත් දීලා ඇතිවෙච්ච දැන ඇඳුණුං කමටයි, රස්සාව නැති වුණාට පස්සෙ වජිරරත්න මහත්තයා ගාවට ඇවිත් තියෙන්නෙ. දේදනටම එක වගේ පොත් කියවන ලෙඬේ තියෙන හින්ද එකට පෑහිලා ඉන්න පුළුවං කියල ‘අහස්’ ළමයා කිව්වෙ’ කියලා මුදලාලි හයියෙන් හිනා වුණා. කාටත් අමතක වෙලා තිබුණු සීයගෙ නම වජිරරත්න කියන එක එතන හිටපු හැමෝටම මතක් වුණේ ඒ වෙලාවෙ. කඬේ හිටපු තරුණියො තුන් දෙනාට නම් ඇහුණෙ තරණයාගේ නම ‘අහස්’ කිව්ව බව විතරයි.

ඊළඟ සෙනසුරාදා කඬේ ගියපු ආච්චි ගාව ඉන්න ගෑණු මනුස්සයා මේ තරුණයාගෙ ආරංචියත් අරං වෙනදට වඩා කළිං ගෙදර ගියා. ඒත් ආච්චි පුරුද්දට බණින බැනිල්ල නම් නැවැත්තුවෙ නෑ. වෙනදට වඩා පැය එක හමාරක් විතර කළිං ගෙදර ඇවිල්ලත් ආච්චි තමන්ට බැන්න එක ගැන මේ ගෑණු මනුස්සයාට දැනුනෙ නැත්තෙ ඒක ඒ තරමටම සාමාන්‍ය දෙයක් වෙලා තිබුණු නිසයි. නමුත් සීයගෙ තනියට කෙනෙක් ඒ ගෙදර ඉන්නවා කියලා කියද්දි ආච්චිගෙ ඇස් වල කළිං නොතිබුණු දීප්තියක් ඇඳුණු බව ඒ ගැණු මනුස්සයාට පෙණුනෙ නෑ.

ආයිමත් කාලය සාමාන්‍ය විදියට ගෙවිලා යන්න ගත්තා. සීයයි තරුණයයි දෙන්න හැමදාම වගේ පොත් කියෙව්වා. ඉරිදට තරුණයා කඬේට ගියා. තරුණියො කීප දෙනෙක්, ඉරිදා උදේම කඬේට එන්න පුරුදු වුණා. ආච්චිගෙ තනි නොතනියට උන්නු ගෑණු කෙනා හැම සෙනසුරාදම බඩු ගේන්න කඬේ ගියා. හැන්දෑවෙලා ඇවිත් බැණුම් ඇහුවා. හුළං හැමුවා, ගස් වල මල් පිපුණා, මල් පර වුණා, අර රූස්ස ගස් තුනත් හැමදාම වගේ කොළ හැලෙමින්, ආයමත් දළු දමමින් අව්වට දැවෙමින්, වැස්සට තෙමෙමින් තිබුණා. 

පුංචි මෝටර් සයිකලේක පිටිපස්සෙ බෑග් දෙක තුනකුත් ගැට ගහගත්තු ගෑණු ළමයෙක් සිකුරාදා දවසක හැන්දෑවෙ සීයගෙ ගේ ඉස්සරහින් ගියා.  සාමාන්‍යයෙන් තියෙන නිශ්ශබ්ධතාවය මේ බයිසිකල් සද්දෙන් බිඳුණු නිසා ඔළුව උස්සලා බලපු තරුණයාට රෝස පාට හෙල්මට් එකක් දා ගත්තු, නිල් පාට පුංචි මල් වැටුණු සුදු පාට දිග ගවුමක් ඇඳගත්තු, දිග කොණ්ඩයක් තියෙන ගෑණු ළමයෙක් රතු පාට පුංචි මෝටර් සයිකලේකින් යනවා වැටේ හිඩැස් අතරින් පෙණුනා. තමන්ට ඉස්සෙල්ලා සීයා ඒ ගෑණු ළමයව දැකලා තියෙන බව තරුණයා දැන ගත්තෙ සීයා පුටුවෙන් නැගිටලා ඒ තරුණිය ගිය දිහා බලං ඉන්නවා දැක්කමයි. සීයගෙ ඇස් කලබලෙන් සැලෙනවත්, අතේ තිබුණු පොත නොදැනීම පුටුව උඩට වැටෙනවත් දැකපු තරුණයා සීයට අසනීපයක් ද කියලා කලබල උනා. පිටිපස්සෙන් සීයගෙ උරහිසට අත තියපු තරුණයා දිහා බලපු සීයගෙන් දිග සුසුමක් පිටවුණා. අහන්න හිතුව දේ හිත ඇතුලෙම තද කරගත්ත තරුණයා, හිමින් සැරේ වැටෙන්න පටන් ගත්තු වැහි පොද වලින් බේරෙන්න සීයවත් වත්තම් කරන් ගෙට ඇතුල් උනා. 

වහිද්දි උනත් පාරට වෙලා ආච්චි මග බලාගෙන උන්නා. ඒ, ආච්චි බැල්කනියෙන් බිමිට බැහැලා ඉන්නවා හුඟක් අය දැකපු මුල් ම වතාව. ආච්චිගෙ තනියට ඉන්න ගෑණු මනුස්සයා කුඬේකුත් අල්ලං ළඟට වෙලා උන්නා. ඒත් ආච්චිට කුඬේ යටට වෙලා ඉන්න උවමනාවක් තිබුනෙ නෑ. එයා නොඉවසිල්ලෙන් පාරෙ එහාටයි, මෙහාටයි ඇවිද්දා.

ඈතින් මතුවුණු මෝටර් බයිසිකල් හ`ඩ ආච්චිගෙ නොඉවසිල්ල ඉවර කළා. ඈතින් පුංචියට තිතක් වගේ පෙණුනු රූපෙ ඉක්මනින්ම ලොකු වුණා. බයිසිකලේ නවත්වන්නත් කළිං ළඟට දුවලා ගියපු ආච්චි බයිසිකලෙන් ආව තරුණියව බදාගත්තා. ස්ටෑන්ඞ් එක ගහලා ඉක්මනින්ම බයිසිකලෙන බැහැපු තරුණියත්  ආච්චිව බදා ගත්තා. වැස්ස සැර වෙමින් තිබ්බට අවුරුදු ගානකින් හම්බඋනු අම්මටයි දුවටයි ඒක ගානක් උනේ නෑ. කුඬේ අකුළල අතට ගත්තු  ගෑණු මනුස්සයාත් ඒ දෙන්නගෙ සතුටට එකතු වුණා.

පහුවදා සෙනසුරාදා බඩු ගේන්න ආච්චි බලා ගන්න ගෑණු මනුස්සයා පිටත් වුණේ තරුණියත් එක්ක බයිසිකලෙන්. බඩු අරං එන කූඩෙත් පැත්තකින් එල්ලගෙන පිටිපස්සෙන් නැග්ගට පස්සේ මේ මනුස්සයාට පුරුද්දට වගේ කුඩෙත් ඉහළුනා. පිටිපස්ස බලලා තරුණිය හිනා වෙනකොට තමයි එයාට තමන් කරලා තියෙන්නෙ මෝඩ වැඩක් බව තේරුණේ. පුංචි බයිසිකලේක, පුංචි තරුණියක්, පිටි මුට්ටයක් වගේ තර ගෑණු කෙනෙක්ව දාගෙන යන මේ දර්ශනය වට පිට උන්නු අයගේ මුවගට ගෙනාවෙ හිනාවක්.

සීයගෙ ගේ ඉස්සරහින් මේ දෙන්නා යද්දි, සීයයි තරුණයයි දෙන්නා පුරුදු විදියටම පොත් බලමිනුයි උන්නෙ. වැඩිය වාහන නොයන මේ පාරෙ යන වාහන කීපයේ හ`ඩ පුරුදු නිසා, නුහුරු හ`ඩින් ඇහුණු මේ බයිසිකල් සද්දෙට දෙන්නම ඔළුව උස්සලා බැළුවා. ඒ හ`ඩ ළං වෙන්න වෙන්න ඒ ඊයෙ මෙතනින් ඇදුණු තරුණියගෙ බයිසිකලය බව තරුණයා අඳුන ගත්තා. ඒ හ`ඩ අඳුනගත්තත් ඒ හ`ඩ අඳුනගත්තු බව සඟවන්න සීය ගත්තු උත්සහය ව්‍යර්ථ උනේ ඒ බයිසිකලය වැට පහුවෙනවත් එක්කම ඉඳගෙන උන්නු සීය නොදැනුවත්වම නැගිට්ටුනු නිසයි.  

තරුණිය කඬේට ගිහිං එනතුරු දෙන්නම පහුඋනේ නොඉවසිල්ලෙන්. දෙන්නම නොඉවසිල්ලෙන් පහුඋනු බව දෙන්නටම දැණිලා තිබුණත්, දෙන්නම ඒක අනිත් කෙනාට නොපෙන්නන්න පරිස්සම් උනා. මීමැසි හ`ඩකින් නැගුණු බයිසිකලේ සද්දෙ මුලින්ම ඇහුණු තරුණයා පොත පැත්තකින් තියලා වැට අද්දරට ගියා. තවත් ළං වෙන්න ළං වෙන්න හ`ඩ පැහැදිලි වෙද්දි සීයත් පොත පැත්තකින් තියලා පුටුවෙන් නැගිට්ටා. 

බයිසිකලේ ආව තරුණියයි, බඩු කූඩෙ පැත්තකින් එල්ලං උන්න තරබාරු කාන්තාවයි දෙන්න උැත තියාම වැට ළඟ උන්නු දෙන්නව දැක්කා. යන්තමින් ඔළුව පැත්තකට හරවපු තරුණිය ඒ දෙන්න කවුද කියලා පිටිපස්සෙ උන්නු ගෑණු කෙනාගෙන් ඇහුවා. අහපු දේට වැඩි විස්තර ඇතිව උත්තර දෙන්න බයිසිකලේ හරි බරි ගැහෙන්න ගියපු ගෑණු කෙනා නිසා සමබරතාවය බිඳිච්ච තරුණිය බයිසිකලේ නොපෙරලී තියාගන්න කකුල් දෙක බිම තියන්න හැදුවත් ඒක කරගන්න බැරි උනා. තරුණියගෙ පාළනයෙන් මිදුණු බයිසිකලේ රූටලා ගිහිං තරුණයයි සීයයි හිටං උන්නු වට ඇද්දරින්ම වගේ පෙරළුණා. 

සිද්ද වෙන්න යන දේ ඈත තියාම දැකපු නිසා සීයයි තරුණයයි දෙන්නම ඉක්මනින් ගේට්ටුව අරගෙන පාරට දිව්වා. ඒත් ඒ දෙන්න ළඟට යද්දි අර දෙන්නා බයිසිකලෙන් පෙරළිලා ඉවරයි. පරත් වැටත් අද්දරත් තිබුණෙ මුදුව වැවිච්ච තණකොළ ගොන්නක් නිසා දෙන්නටම තුවාල වෙලා තිබුණෙ නෑ. 

තරුණියව නැගිට්ටවන්න තරුණයාට ලොකු උවමනාවක් තිබුණත් එතනදි සීයා ඉස්සර උනා. බොහොම අමාරුවෙන් අර තරබාරු කාන්තාව නැගිට්ටවන්නත්, ඊට පස්සෙ තැනින් තැන විසිරිලා තිබුණු එයාගෙ බඩු ටික අහුලලා දෙන්නත් අන්තිමේදි තරුණයාට සිද්ද උනා. තරුණියගෙ අතින් අල්ලගත්තු සීයා එයව ගේ ඇතුලට එක්කං ගියා. තමන්ගෙ අතිං අල්ලං ඉන්න සීයාගෙ අත් දෙක වෙව්ලන බව තරුණියට දැණුනා. ඒ එක්කම කිසිම දවසක නොදැකපු දීප්තියක් සීයගෙ ඇස්වල තියෙනවත් තරුණයා දැක්කා.

‘සඳුපා’ ඊයෙ වැස්සට කළිං ගෙදර ගියාද?’ ඒ තරුණියව ගේ ඇතුලට එක්කරං ගිහිං සැප පහසු පුටුවක වාඩි කරවලා සීයා අහපු පළවෙනි ප‍්‍රශ්නෙ. ඒ ප‍්‍රශ්නෙත් එක්ක තරුණිය සෑහෙන්න කලබල උනා. කිසිම දවසක දැක්ක කියලා මතක නැති මේ නාඳුනන වයසක මනුස්සයා තමන්ගෙ නම කියලා කතා කරද්දි කලබලය අතරෙම තරුණියට කියාගන්න නොතේරෙන හුරු බවකුත් දැණුනා. ළඟ උන්නු තරුණායා දිහාත්, කාන්තාව දිහාත් ඒ විමතියෙන් ම බලපු තරුණිය ඔව් කියන්න ඔළුව වැනුවා. 

තේ හදලා තරුණියටත්, කාන්තාවටත් සංග‍්‍රහ කරපු සීයා තරුණයාට තරුණියත් කාන්තාවත් ගෙදරට ගිහිං ඇරලවන්න කිව්වා. ඉතාම කැමැත්තෙන් ඒකට ඉදිරිපත් වුණු තරුණයා කාන්තාවගෙ අතින් බඩු කූඩෙත් අරං පරට බැස්සා. තරුණයාට වඩා අඩි කීපයක් පිටිපස්සෙන් පිය මං කරන්න ගත්තු තරුණියත් කාන්තාවත් ඉස්සරහිං යන තරුණයාගෙ ගමන් ලතාවට කටවල් වහං හිනා වුණා.

මේ අය යන අතරමග තිබුණු අර රූස්ස ගහ ළඟින් යද්දි මෙතෙක් නොඇසුණු සද්දයක් ඇහුණු කාන්තාව ගහ උඩ බැලූවා. මේ ගහ ගැන කිසි දෙයක් නොදන්න මේ තරුණ යුවලත් ඒ එක්කම නැවතිලා ගහ දිහා බැලූවා. සුදු පාට පිහාටු තියෙන රතු පාට දිග පෙඳයක් තියෙන කුරුල්ලෙක් ගහේ අතු අතර එහෙ මෙහෙ පියාඹනවා ඒ තුන් දෙනා දැක්කා. උගේ කට හ`ඩ හරිම මිහිරියි. ‘එයා කූඩුවක් හදන්න තැනක් හොයනවා’ තරුණිය එහෙම කියද්දි අනිත් දෙන්නගෙ මූණෙ හිනාවක් ඇඳුනා. 

මේ දෙන්නගෙ පරක්කුව නිසා එළියට බැහැලා උන්නු ආච්චි එයාලව දැක්ක ගමන් බණින්න හැදුවත් තරුණයා දැකපු ගමන්, කේන්තිය හංගං හිනා වුණා. ඒත් එයාගෙ මූණෙ තිබුණෙ මේ කවුද කියන බැල්මක්. ‘මේ අර වජිරරත්න මහත්තයලෑ ගෙදර ඉන්න අහස් මහත්තයා’ කාන්තාව එහෙම කියද්දි ආච්චි ගැස්සුනේ ඒ පිට වුණු කොයි වචනෙටද කියලා තරුණියට හිතාගන්න බැරි උනා. ආච්චිය කණට කරලා වෙච්චි අකරතැබ්බෙ කිව්වම ආච්චිගෙ කේන්තිය නිවිලා ගියා.

තේකක් බොන්න තරුණයාට ආරාධනා කළත්, බොහොම කාරුණිකව ඒ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කරපු තරුණයා ආපහු හැරුණෙ තරුණියගේ බයිසිකලයා හදලම පස්සෙ ගෙනත් දෙන්නම කියන පොරොන්දුවත් එක්කයි. තරුණයා ඈත නොපෙනී යනකල්ම ආච්චිත් තරුණියත් බලං උන්නා. මෙතෙක් නොදැණුනු පාළුවක් දැනිලා තරුණියත්, අතීතෙ මතක් වුණු ආච්චිත් හෙලපු බර සුසුම් දෙකක් එක වරම ආපු හුළඟත් එක්ක මුහු උනා.

හිතට දැණුනු සතුට පිට කරන්න, සින්දුවකුත් උරුවම්බාමින් ආව තරුණයා අර රූස්ස ගහ ළඟ නතර වුණා. කුරුල්ලා ගේ හදන්න තැනක් තෝරගෙන තිබුණා. ඒ ගහේ මැද හරියෙ එක ළඟ අතු දෙකක් තිබුණු තැනක්. ඊට උඩින් තිබුණු අතු පතර විහිදුණු ලොකු අත්තකින් ඒ පොඩි අතු දෙකට සෙවන සැලසුණා. ඒ පොඩි අතු දෙක තිබුණෙ ගහේ කඳට බොහෝම කිට්ටුවෙන් නිසා ඊට එහායින් තිබුණු ලොකු අතුවලින් පුංචි සැඟවෙච්චි බවකුත් ඒ අතු දෙකට ලැබිලා තිබුණා. පොඩි වෙලාවක් ඒ දිහා බලං හිටපු තරුණයා කුරුල්ලගෙ තේරිම හරි බව කියන්න වගේ ඔළුව දෙතුන් පාරක් වනලා ආපහු යන්න පිටත් වුණා.

තරුණියගෙ බයිසිකලේ හදන්න  ඕනෙ නේද කියලා සීය ඇහුවම තරුණයා සීයට කිව්ව ඒක හදන්න තරම් දැනුමක් තමන්ට තියෙන බව.  ඕනෙ කරන් ආම්පන්න ගෙට එහා පැත්තෙ තිබුනු කාමරේ ඇති කියපු සීයා පොතත් අරං මිදුලට බැස්සා. ආම්පන්න හොයා ගත්තු තරුණයා ඒක ඇතුලෙම වාඩි වෙලා තරුණියගේ බයිසිකලේ හදන්න පටන් ගත්තා. 

හැන්දෑවෙ තරුණිය තනියෙන් ම සීයලගෙ ගෙදරට ආවා. තරුණිය දැක්ක ගමන් සීයගෙ ඇස් දෙකත් දිලිසෙන්න ගත්තා. තරුණියගෙ බයිසිකලේ හදලා ඉවර උනු තරුණයත් දෑත් පිස දමමින් ඒ වෙලාවෙම එළියට බැස්සා. තරුණයා දැකපු තරුණියගෙ මූණෙ ලස්සන හිනාවක් ඇඳුනා. ආපහු බයිසිකලය තිබුණු තැනට ගියපු තරුණයා බයිසිකලය ස්ටාට් කරගෙන ම තරුණිය ළඟට ආවා. බයිසිකලේ වටේ රවුමක් ගියපු තරුණිය හිස පැත්තකට ඇල කරලා ගාස්තුව කීයද කියලා තරුණයාගෙන ඇහුවා.  හයියෙන් හිනාවුණු තරුණයා අතේ තිබුණු යතුර තරුණියගෙ කෙස් අතරෙ රැුඳෙව්වා.

‘මං දන්නවා හවස් වෙද්දි මේක හදලා ඉවර වෙන බව, මම මේක ගේන්න එනවා කිව්වම අම්මා කේක් එහෙකුත් හදලා දුන්නා’ කියපු තරුණිය මෙච්චර වෙලා අතේ තියං උන්නු පාර්සලය සීයට දුන්නා. 

‘අම්මට කියලා කේක් හදවන්නෙ ගෑණු ළමයට ගෙදර වැඩ මෙලෝ දෙයක් බෑ වගේ’ කියලා තරුණයා ආයිමත් හිනා වුණා.  

බොරුවට අමනාව මූණක් හදාගත්තු තරුණිය සීයගෙ අතින් අල්ලගෙන ගේ ඇතුලට ගියා. කෙළින් ම කුස්සියට ම ගියපු තරුණිය, කේතලේට වතුර එකක් පුරවලා ගෑස් ලිප උඩින් තියලා සීනි, තේ කොළ තියෙන්නෙ කොහෙද කියලා සීයගෙන් ඇහුවා. සීයා ඒවා අරං මේසෙ උඩින් තියද්දි පුරුදු කාරියක් වගේ කෝප්ප තුනක් හොයා ගත්තු තරුණිය එතනින් රතුපාට අ`ඩුවක් තියෙන නිල් පාට කෝප්පෙ අරං ‘මේක අංකල්ගෙ නේද?’ කියලා ඇහුවා.  පුදුමයෙන් ඇස් ලොකු කරගත්තු තරුණයා සීයටත් කළින් ඔව් කියන්න ඔළුව වැණුවා. 

‘අපේ අම්ම ළඟත් මේ ජාතියෙ කෝප්පයක් තියෙනවා, හැබැයි ඒක රතු පාටයි, අ`ඩුව නිල් පාටයි’ කියලා කිව්වා. ‘මට මතක කාලෙ ඉඳලා අම්මා ළඟ ඒ කෝප්පෙ තියෙනවා. අම්මා ඒක හරියට පරිස්සම් කරනවා’ කියලත් කිව්වා.

සීයගෙ මූණ එළිය වුණා. ජනේලෙන් එළියටත්, එතැනින් ගෙවත්තටත්, එතැනින් එහා ඈතින් තිබුණු කන්ද දිහාටත් යොමුවුණු සීයගෙ ඇස් දෙක දීප්තිමත්ව බැබළුණා.  තරුණිය තේ හදලා සීයා ඉස්සරහින් කෝප්පෙ තියනකල් ම සීයගෙ බැල්ම එතැනින් හෙළවුණේ නෑ.

තේ බීලා ඉවර වුණු තුන් දෙනා ආපහු සාලෙට ආවා. සීයගෙ පොත් ගොන්න දැකලා තරුණියගෙ දෑස් විමතියෙන් මහත් වුණා. ‘අපේ අම්මගෙ වගේම පොත් ගොඩක් අංකල් ළඟත් තියෙනවනෙ’ කියලා තරුනිය කියද්දි සීයගෙ ඇස් ආයිමත් වේගයෙන් සැලෙන්න ගත්තා.  පොත් රාක්ක ළඟට ගිහිං පොත් අතපත ගාපු තරුණිය, ‘මේ පොත් වලින් වැඩි හරියක් අපේ අම්මා ළඟත් තියෙනවා’ කියලා කිව්වා.

සෙනසුරාදට කඬේ යන්න යන තරුණිය මොනව හරි කෑමකුත් අරගෙන සීයලගෙ ගෙදරට ගොඩවීම කාලයක් යද්දි පුරුද්දට ගියා. ඉඳ හිට දවසක හදිස්සියෙන් ගෙන්න ගන්න  ඕනෙ උණු යමක් අරගෙන තරුණයත් ආච්චිගෙ ගෙදරට ගියා. සමහර දවසට තරුණිය ඇරලවන්නත් තරුණයා ආච්චිගෙ ගෙදරට ගියා. එහෙම යද්දි දවසක් පය පැකිලිලා වැටෙන්න ගිය තරුණියගෙ අත අල්ල ගත්ත තරුණයා එදායින් පස්සෙ ඒ අත හැමදාම අල්ලං ගියා. ආච්චිගෙ ගෙදර තිබුණු රූස්ස ගහ යට තිබුණු බංකුව අවට වැවිලා තිබුණු වල් දවසක් තරුණයා ඉල්ලීමක් නොමැතිව ම සුද්ද කළා. එදායින් පස්සෙ හුඟාක් හැන්දෑවල් වල ඒ දෙන්නා ඒ බංකුවට වෙලා නොයෙක් දේවල් ගැන කතා කළා. හේත්තු වෙන කෑල්ලෙ තිබුණු පරණ පැල්ලම ආයිමත් අලූත් වෙන්න ගත්තා.  

දවසක් හදිස්සියෙ ? 10ට විතර සීයගෙ ගෙදර දුරකථනය නාද වුණා. දුරකථනය අතට ගනිපු සීයා වචනයක් වත් නොකියා ගොළු වෙලා අනිත් පැත්තෙන් ඇහුණු හ`ඩට ඇහුම් කණ් දීගෙන ඉන්න බව දුරකථනයේ සද්දෙට ඇහැරුණු තරුණයා දැක්කා. ‘ඉක්මනින් කාර් එක ගන්න’ කියපු සීයා දුරකථනය තියලා කාමරේට ගියා. අන්ද මන්ද වෙච්චි තරුණයා කාර් එකත් මිදුලට අරගෙන සියා එනකල් බලං උන්නා. ‘ඉක්මනින් යං....., ඉන්දීවරී ලගෙ ගෙදරට,’ ආයිමත් විමතියෙන් බලං උන්නු තරුණයා දිහාට හැරුණු සීයා ‘සඳුප ගෙ ගෙදරට’ කිව්වා. 

ටයර් කෑ ගස්සමින් එළියට ආව කාරය වේගයෙන් පාළු පාර දිගේ ඇදුණා. මග අයිනෙ තියෙන රූස්ස ගහ පහුවෙද්දි සීයා දෑස් උස්සලා කළුවරේ යෝධයෙක් වගේ බලං උන්නු ගහ දිහා බැළුවා.  ඒ දෙන්නා ගෙදරට ළං වෙද්දි ආච්චිගෙ ගෙදර වැඩට ඉන්න ගෑණු මනුස්සයා නොඉවසිල්ලෙන් ඉස්තෝප්පුවෙ එහෙ මෙහෙ ඇවිදමින් උන්නා. ගැහෙන දෙපා වලින් කාර් එකෙන් බැහැපු සීයා අවට බැලූවෙ පුරුදු යමක් තියෙනවද බලන්න වගෙයි. ඒත් එක්ක ම එළියට දුවං ආව තරුණිය සීයගෙ අතින් අල්ලං ඇතුලට එක්කං ගියා. 

මලානික එළියක් තිබුණු කාමරේක, වියන් ඇඳක ආච්චි වැතිරිලා උන්නා. සීයා එද්දි හැරිලා බලපු ආච්චිගෙ මූණෙ හිනාවක් ඇඳුණා. ඉක්මනින් ඇඳ ළඟට ආව සීයා ළඟ තිබුණු පුටුවක් අරං ආච්චිගෙ ඇඳ ළඟින් වාඩි උනා. 

‘අංකල් අම්මට අමාරුයි, ඩොක්ටර් කෙනෙක් ගාවට යං කිව්වම, අංකල්ට එන්න කියන්න කිව්වා’ කියලා තරුණිය කිව්වෙ ගැහෙන හ`ඩකින්.  පුරුදු කාරයෙක් වගේ ඇඳ ළඟින් නැගිට්ට සීයා, ඇඳ ළඟ තිබුණු කබඞ් එහෙක දොර ඇරලා, ඒකෙ දෙවෙනි තට්ටුවෙ තිබුණු ලාච්චුවකින් දොස්තර නලාවක් ගත්තා. ඒක කණ් දෙකට අමුණ ගත්තු සීයා ආච්චිව පරීක්‍ෂා කරන්න පටන් ගත්තා. ‘අපි හොස්පිට්ල් යං ඉන්දීවරී.....’ එහෙම කියපු සීයා තාමත් විමතියෙන් මේ දෙන්න දිහා බලං ඉන්න තුන් දෙනා දිහාට හැරුණා. ‘දුව අම්මව ලෑස්ති කර ගන්න....’ එහෙම කියලා සීයා තරුණයාගෙ අතින් අල්ලං එළියට ආවා.

ආච්චිව හෝස්පිට්ල් ඇඞ්මිට් කළා, හිතූ තරම් අමාරුවක් ආච්චිට තිබුණෙ නෑ.  කොහොම උනත් ආච්චිගෙ තනියට තරුණිය නතර කරපු අනිත් තුන් දෙනා ආපහු ආවා. පහුවදා උදෙන් ම සීයත්, තරුණයත් ආච්චි බලන්න ගියා. වෙහෙසකර රාත‍්‍රියක් ගත කරලා තිබුණු තරුණිය දෙන්නව පිළිගත්තා. ආච්චිට නින්ද ගිහිං තිබුණෙ. 

තරුණියගෙ මලානික මුහුණ  ආදරෙන් අතගාපු සීයා ‘අහස් දුවව ගෙදර එක්ක ගිහිං එන්න, මං ඉන්දීවරී ළඟ ඉන්නම්’ කියලා ළඟ තිබුණු පුටුවකින් වාඩි උනා. ‘අංකල්  ඕනෙ කමක් උනොත් නර්ස් කෙනෙක්ට කතා කරන්න’ කියපු තරුණිය තරුණයත් එක්ක කාමරෙන් පිටවුණා.

එළියට ආව තරුණිය තරුණයාගෙන් ඇහුව පළවෙනි ප‍්‍රශනෙ උනේ ‘ අංකල් දොස්තර කෙනෙක් කියලා ඔයා දැනං උන්නද?’ කියන එක.  ඔළුව දෙපැත්තට හොලවපු තරුණයා ‘අංකල්ගෙ ස්ටෙත්ස්කෝප් එක ඔයාලගෙ ගෙදර කබඞ් එකට ගියේ කොහොමද?’ කියලා තරුණියගෙන් ඇහුවා. තරුණියගෙ උත්තරේ උනෙත් ඔළුව ෙදැපැත්තට හොල්ලපු එකයි.

පාර අයිනෙ තිබුණු රූස්ස ගහ ළඟින් යද්දි තරුණයාගෙ අතින් අල්ලපු තරුණිය ‘පොඞ්ඩක් නතර වෙලා යමු’ කිව්වා.  වාහනෙන් බැස්ස දෙන්නා. ගහ යට හෙවනට උනා. තරුණයෙකුටයි තරුණියකටයි තනි වෙච්චි වෙලාවක කතා කරන්න තියෙන දාහක් දේවල් කියවන අතරෙ දෙන්නා දෑත් පටලං ගහ වටේ ගියා. එහෙම යද්දි ඒ දෙන්නගෙ උසට වඩා පොඞ්ඩක් උඩින් ගහේ තිබුණු සීරුම් ලකුණු දෙකක් දැකලා දෙන්නා මූණට මූණ බලා ගත්තා. එකිනෙක පැටළුණු ඉංග‍්‍රීසි ‘අයි’ අකුරකුත් ‘ඩබ්ලිව්’ අකුරකුත් ගහේ මැද හරියෙන් තදින් කොටලා තිබුණා.  ඒ වෙද්දිම ගහ උඩින් ඇහුණු කිචි බිචි සද්දෙකට උඩ බැළුව දෙන්නට පුංචි කුරුළු පැටව් දෙන්නෙකුට කෑම කවන්න හදන   සුදු පාට පිහාටු තියෙන රතු පාට දිග පෙඳයක් තියෙන කුරුල්ලයි කිරිල්ලියි පෙණුනා. හිනාවකින් මුව සරස ගත්ත දෙන්නා නැවත ගෙදර යන්න පිටත් වුණා.

තරුණිය බස්සපු තරුණයා මිදුලෙ තිබුණු බංකුවෙන් වාඩි උනා. මුහුණ හෝදගෙන අලූත් ඇඳුමකින් සැරසුණු තරුණිය තරුණායාට තේ කෝප්පෙකුත් අරං ඇවිත් තරුණයාගෙ ළඟින් වාඩි උනා. තරුණයාගෙ උරහිසෙන් හිස තියාගත්තු තරුණිය ගහේ අතු අතරින් පේන් නිල් අහස දිහා බලං උන්නා. එක පාරට ගැස්සිලා නැගිටපු තරුණිය බංකුව පිටපස්සෙන් ගහ යටට දුවලා ගියා.  ඒ ගහෙත් අර ගහේ වගේම අර අකුරු දෙක ඒ විදියට ම කොටලා තිබුණා. අවබෝධාත්මක බැල්මකින් දෙන්නට දෙන්නා මූණ දිහා බලං ඉඳපු දෙන්නා ඉක්මනින් ම කාර් එකට නැගලා පිටත් වුණා.

සීයගෙ ගේ ළඟ කාර් එක නවත්තපු දෙන්නා සීයගෙ මිදුලෙ තිබුණු ගහ යටට දුවලා ගියා. ගහ වටේ දෙපැත්තට කැරකුණු දෙන්නගෙන් මුලින්ම අකුරු දෙක හොයා ගත්තු තරුණිය ප‍්‍රීතියෙන් කෑ ගහුවා. එහෙමම ගේ ඇතුලට දුවලා ගිය දෙන්නා සීයගෙ පොත් රාක්කෙ ළඟ නැවතුණා. අතනින් මෙතනින් පොත් කීපයක් ඇදලා බලපු දෙන්නාට පොත් ගොඩ අතරෙ තිබිලා පරණ ඇල්බම් එකක් හම්බ උනා. පොත් රාක්කෙ ගාව බිම ඉඳ ගත්තු දෙන්නා ඇල්බම් එක පෙරලන්න ගත්තා. දැන් වයසට ගිහිං ඉන්න දෙන්නගෙ තරුණ කාලෙ ගත්තු ෆොටෝ වලින් ඇල්බම් එක පිරිලා තිබුණා. පෙරලගෙන යද්දි එක තැනක තිබුණෙ වෙඩිං ෆොටෝ එකක්. ඒත් එකෙ උන්නු මනමාලයා වෙනස්. ‘මේ මගේ තාත්තා’ තරුණිය එහෙම කිව්වා. ‘එයා මං ඉපදෙන්න මාස දෙකකට කළිං මැරුණළු’.  ඊට පිටු දෙක තුනකට පස්සෙ තිබුණෙ පොඩි දරුවෙක් වඩා ගත්තු සීයගෙ පින්තූරයක්. ‘මේ මම, මේ ඇඳුම ම ඇඳලා අම්මා මාව වඩාගෙන ඉන්න මේ වගේම පින්තූරයක් මං ළඟ තියෙනවා’ තරුණිය එහෙම කිව්වා.   ඊළඟට තිබුණු පින්තූර වල තිබුණෙ සීය පිට රටකදි ගත්තු පින්තූර ගොඩක්. ඇල්බම් එක පහපු දෙන්නා පොත් රාක්කෙට ඔළුව හේත්තු කර ගත්තා.

හෙමින් ඉකිබිඳින්න ගත්තු තරුණියව තරුණයා උරහිසට හේත්තු කර ගත්තා. ටික වෙලාවක් එහෙම හිටපු දෙන්නා එතනින් නැගිටලා එළියට බැස්සා.

දෙන්නා නැවත ඉස්පිරිතාලෙට ගියේ කියා ගන්න බැරි හැඟීමක් හිතේ තද කර ගෙන. වහලා නොතිබුණු දොරෙන් ඇතුල් වෙද්දි දෙන්නා දැක්කෙ ජනේලයක් ළඟින් රෝද පුටුවක ආච්චිව වාඩි කරවගෙන, ඒ ළඟින් තවත් පුටුවක් තියාගෙන, ආච්චිට ඇහෙන්න පොතක් කියවන සීයව. ඒ දෙන්න ඉන්නෙ බොහොම සන්තෝසෙන් බව පැත්තෙන් පෙණුනු ඒ දෙන්නගෙ මූණු වලින් පෙණුනා.  ඇතුල් වෙන්න හදපු කකුල් ආපස්සට අරගත්තු තරුණයයි, තරුණියයි ආපහු එළියට ආවා.

එක පාරටම පුංචි සිරිපොද වැස්සක් වැටුණා. තරුණයාගේ අත අත ඇරපු තරුණිය එක පාරට ම මිදුලට පැනලා අත් දෙක දෙපැත්තට දාගෙන වැස්සෙ තෙමෙන්න ගත්තා. මහ හ`ඩින් හිනා වුණු තරුණයත් මිදුලට පැනලා තරුණියට එකතු වුණා.  කෑමත් අරගෙන, පැටව් බලන්න යන සුදු පාට පිහාටු තියෙන රතු පාට දිග පෙඳයක් තියෙන කුරුල්ලයි කිරිල්ලියි මේ දෙන්නගෙ ඔළු වලට උඩින් ඉගිල්ලූණා.


- ඉවරාාායි-

Monday, June 8, 2015

විප්ලවීය ආචාරය

බැටන් පොළු
බූට් අඩි
හත අටක් 
කා ගෙනම
සිරිල් අයියා ගියේ
බැරියරුත් පෙරළගෙන
කඳුළු ගෑසුත් වැදී
ඇස් කෙවෙණි
රිදෙනකොට
සිරිල් අයියා හෙව්වෙ
ගඩොලකුයි ගහන්නට
විප්ලවේ ගැන කියපු
කතා ගැන ඇහෙනකොට
සිරිල් අයියා හිටියෙ
සුරලොවක් දකින්නට
රතු ඇඳලා
රැවුල වැව්
සහෝදරු දකිනකොට
පපුව පුම්බන් සිරිල්
ගියේ ඉස්සරහටම
අහක යන උණ්ඩයක්
පපුවටම වැදුනාම
සිරිල් අයියා වැටුණෙ
බැනරයක් පෙරලාන
සිරිල්වත් පාගගෙන
සහෝදරු දුවනකොට
ඔච්චමට හිනාඋනෙ
ඉර ඉඳන් අහස මැද
පොඩි එකයි කාන්තිය
මිනිය ළඟ අඩනකොට
බැනරයක් එල්ලුනා
ගෙට හැරෙන දෙවැට ළඟ
පාගගෙන දුවපු උන්
රැවුල ඇද ඇද ජයට
කෑ ගැහුවා සිරිල්ගේ
නොමැරෙනා මතක ගැන
ආපු උන් ඔක්කොමලා 
හැන්දෑවෙ ගිය පසුව
පොඩි එකයි කාන්තියි
තනි උනා අඳුර මැද
ලණු කැඩුණු බැනරයේ
අකුරු එහෙ මෙහෙ වැනෙන
තිබුණා අවසන් කියුම

‘විප්ලවීය ජීව ගුණය රැකගෙන
අධිපතිවාදී වෙඩි උණ්ඩයට දිවි දුන්
සිරිල් සහෝදරයාට
අපේ විප්ලවීය ආචාරය’