Wednesday, April 22, 2015

වේටර් කුමාර්

බෝ එකක් හිර කරං
ගෙල වටේ මහ තදට
බුරුසු රැවුලක් වවං
තොල් උඩිං ලතාවට
බයිට් බෝතල් අරං
සෝඩා බෝතල් කඩන
කුමාර් උඹ ගැන දුකයි
ඇත්තටම මගෙ හිතට
අපි කියන අපි අහන
කතා උඹ අහන් නෑ
මේසෙ උඩ බයිට් එක
තියලා උඹ දුවන්නෑ
අඩුපාඩු හැම එක ම
නොබල උඹ යන්නෙ නෑ
ටිප් එකක් නොදුන්නට
කිසි දාක රවන්නෑ
දොර වහපු වෙලාවට
පුංචි අඩියක් ගහමු
ඒ ගහන වෙලාවට
අපි ගානෙ බයිට් කමු
දුම් උගුරු දෙක තුනක්
සිවිලිමට පා කරමු
අපෙ කතන්දර වහලා
උඹෙ කතා අපි අහමු
පැටලෙනා සිංහලෙන්
කතා කෙරුවත් අපිට
උඹ දෙමළ බව දැණුනෙ
නෑ අපිට කිසි විටෙක
බෝතලේ බයිට් වල 
සෝඩ වල කිසි තැනක
ජාතියක් ජම්මයක්
තිබ්බෙ නෑ කිසි දිනෙක