Wednesday, November 2, 2016

කඳුළු මල

මලක් පිපෙනා තැනෙක
තිබුණාම කඳුළු බිඳුවක්
පිපෙනා මලත් වෙනවාද
නොදැනීම කඳුළක්

කඳුළු පොකුණ

සීතල පොළව ඉකිබිඳ
හැඬුවද හොරෙන් හැමටම
කම්පිත හඬට ඇහුරුණු
මලක් හෙව්වද කඳුළු ඉහිරුණු
ගහ මුල දිගට ඇතිරුණු
පොළව හෙළු කඳුළින් ම මතුවුණු
පොකුණක් වීය නෙත්කළු
මල මලේ රුව කඳුළු මැද දුටු

මල් සුවඳ පොද

හන්තාන කන්ද පාමුල
මල් වරා විහිදුණු ගසක් යට
ඉකි බිඳ හෙමින් වැළපෙන
හදවතක් වළලලා තිබෙනු දැක්කද......
සුවඳ රැඳි මල් වාරෙ මතකය
අතුරලා ගස යටින් හෙමිහිට
පින් සිරිත් කර පැන් වඩා බිම
බිඳුණු හද වළ දම්මෙ කවුරුද......
තවම හඬනා හදේ මතකෙට
මියුණු ගහ සුළඟට වැනෙන විට
ඒ මතක මැද සෙමින් මිය ගිය
මල් සුවඳ පොද මැකී යාවිද......

මලක මතක

පෙති සලා හිනැහුණු
මතකය අතර සිරවුණු
මල නැති සොවින් වැළපුණු
නටුවක් වී ය ගස අග
වේලී අකාලේ මියැදුණු

සාංසාරික ප්‍රේමය

තද කරං ඔ’යත මා අත
තියා ඔබෙ හිස මා උර මත
යන්න මං නුඹ එක්ක සසරෙම
පතනවා සත්තයි සෑම දින

මල් හිනා ගෙන සෑම දිනෙකම
එනතුරා ඔබ හෑම දිනයෙම
යන්න මං නුඹ එක්ක සසරෙම
පතනවා සත්තයි සෑම දින

සුසුම් පා කර කෙහෙ අවුල් කර
ලවන් මත්තට සිපුම් දෙන්නට
යන්න මං නුඹ එක්ක සසරෙම
පතනවා සත්තයි සෑම දින

අළු පැහැට හිස කෙස් දිලෙන දින
අද මෙන්නම එදිනත් ළඟින් හිඳ
යන්න මං නුඹ එක්ක සසරෙම
පතනවා සත්තයි සෑම දින

මියැදුණු මල

අහස වැළපෙන සඳ
වක්කරං කඳුළු පොළවට
පිපිරුණු හෙණ හඩට ඇහැරුණු
මලක් විය නොනිදා රැය පහන් කෙරු
වැහි කඳුළු ඉව කෙරු
ආ තැන සුවඳ සොයමින් ම වැළපුණු
මල හෙළු කඳුළු සඟවා
වැහි දිය ඔහේ බේරුණු
අහසේ කොණැ පිපුණු
තනි තරුව සොය සොයා වෙහෙසුණු
තරු පිපි දෙසින් ගිළිහුණු
වැහි කඳුළු මැද දුකින් වියැළුණු
මලක් විය දිය බත්ව මියැදුණු

ඒ සොඳුරු අවහන්හල

අඩ අඳුරු අවහන් හල් බිම
දුම් රොටු බිඳී
සිවිලිමේ හැප්පෙන
දුම්වැටි එළි දිලෙන
යළිත් එළිය අඩුවී මැකෙන
ටිං ටිලි ටිං හඬින්
බෝතල් වීදුරුත් හැප්පෙන
චාස් හඩ නගමින්
තාච්චිය ලිප අතර නැළැවෙන
නෙක නෙක බයිට්
එක තාච්චියේ හැදෙන
ටිප් එක නොතැබු උන්
බිමං බලං පිටවෙන
තව සීයක් ගහමු
උස් හඬ නිරතුරුව රැව්දෙන
පොඩි පොඩි වලි ඇදෙන
තට්ටු දමමින් ගී ගැයෙන
මෙතරම් තැනක් තව කොහිද
ජීවිතේ රස හොඳින් දැනවෙන

හඬන වෙරළත

වහිනකොට ඈත දියඹට
ඒ වැහි දියට තෙමෙන රළ පෙළ
අරගෙන ඇවිත් කඳුළු වෙරළට
හැංගුවා ඉකිය හෙමි හෙමින් වෙරළත


ඒ වෙරළෙ වැලි මත
දෙදෙනෙක් එක්ව සවසක
තැබූ පියසටහන් වල
ලකුණු මැකුවා හඬන රළ පෙළ

මැකුණු පියසටහන් මත
එකක් ගානේ කඳුළු සිරකර
වෙන්වී ගිය දෙදෙන
හැංගුවා ඒ කඳුළු රළ මත