Tuesday, December 14, 2021

නුඹ ගැන සුව මතක

 මීදුම් තිර ඉරන

හිරු රැස් වැටී දිලිහෙන
තණ පත් අග රැඳුණු
පිනි බිඳු සෙමින් වියැළෙන
අතු අග පිපී හිනැහෙන
මල් වල සුවඳ විහිදෙන
කාලය ගෙවී වියැකුණු
කොළ අතු අගින් ගිලිහෙන
නුඹ ගැන සුව මතක
තව හිත් කෙණේ ගැවසෙන
එනමුදු ඒ සුවඳ
දැන් හෙමි හෙමින් මියැදෙන



වැහි බර සැඳෑවක

 ඉස්සරම ඉස්සර

එකෝමත් එක දවසක
වැහි බර සැඳෑවක
අපි
තෙමි තෙමී
ඔහේ යනකොට
මග අයිනෙ කඩයක
තිබුණ
‘අනේ එක ලස්සනයි’
ඔබ කීව
කහ කුඩය
තවම ඔබ ළඟ......
ඒ කුඩේ යට
තුරුල් වී තෙමී නොතෙමී
ගිය මම
තනිව
මේ කුඩේ යට



නුඹ දිනෙක එනතුරු

 මේ මල් අතින් අරගෙන

එනතුරු දිනෙක සවසක
මං මග බලං හිටි වග
දන්නෙ නැතුවා ඇති
සමහර විටෙක ඔබ තව
මල් පිපුණු උදයෙක
එක් කර ගත්තු මල් මිට
තද කරං එක අතකට
බලං උන්නා මං
ඔබ එතැයි ඒ දවස ඇතුලත
හිරු බැසයද්දි සවසට
මල් පෙති පරවෙවී වැටුණම
හරි බර සුසුම්
තද කරං මං පපුවට
ගැලෙව්වා අලවලා තිබ්බ ඇස් පාරට
යළි කිසි දිනෙක නාවට
මං මග බලං උන්නෙ නැතිවට
මා උන් තැන පිපුණු
කඳුළු මල හිඳී
නුඹ දිනෙක එනතුරු



Sunday, October 4, 2020

යළිත්

 කුහුඹුවන් වී හෝ
උපන්නා නම් අපි
දහස් දෙන
පිය මනින
මගක හෝ හමු වී
මොහොතකට
මුණ ගැසී
අපේ ඇස් දෙස බලා
යන්න තිබුණා....


Monday, September 11, 2017

තනිවුණු මීවිත


සඳළුතලයෙන් එහා පැත්තේ
අහසෙ වටකුරු සඳක් තිබුණා
ඒ සඳේ වට දිලිසෙමින් උන්
පුංචි තරු කැට ගොඩක් තිබුණා....
සඳළුතලයෙන් මෙහා පැත්තේ
පාළුවේ උන් කෙනෙක් උන්නා
ඔහුගෙ තනියට පුටුව පසෙකින්
අඩක් හිස් වූ බඳුන් තිබුණා....
ජීවිතේ දුර ඈත කාලෙක
සඳ වාගෙම මේ තරුත් තිබුණා
අතින් අල්ලන් තුරුල් වී ළඟ
ඔහුගෙ තනියට කෙනෙක් හිටියා....
හිස් වෙනා මධු බඳුන් ගණනට
දුක හිතෙන හිත තනිව හැඬුවා
දුක නිවන්නට බැරිව දුර සිට
සඳත් තරු හා බලා හිටියා....
ලොවට නොහැඟෙන අරුම දුක ගැන
තනිව මීවිත සුසුම් හෙළුවා
තරුත් තනිකර අමාවක රෑ
සඳත් නොකියම ගිහිං තිබුණා....