උඹ ගිහිං
මාස තුනකුත් වෙලා
අද ඊයෙ වාගෙමයි......
'දඩෝ අද නැද්ද මොකුත්'
අහන්න එකෙක්
නෑ බං දැං.....
තාම කන බොන වෙලාවට
අපි මතක්කරනවා
උඹ ගැන
ඇත්තමයි
ඒ හැම තැනකම
ඉන්නවා උඹ
අපි ළඟ......
පිං දුන්නා අපි අද
මතක් කරලා උඹ ගැන
උඹ කැමති විදියටම
හැම දේම කලා අපි......
උඹ ගිහිං
මාස තුනකුත් වෙලා
අයියේ
අද ඊයෙ වාගෙමයි
අමතක වෙන්නෙ නෑ
කිසි දාක උඹව.......
‘දඩෝ
අඩියක් ගහමුද?’
අහන්න උඹ ආයෙ එන්නෙ නෑ...
පැයකට
එක හමාරක් බොන්න
උඹ ආයෙ එන්නෙ නෑ.....
අයියෙ කියන ගමන් ම
උඹ කියල කියන්නත්
උඹ ආයෙ එන්නෙ නෑ
ඒ හින්දම,
උඹ නිදං ඉන්නවා බලන්න
මං ගියේ නෑ.....
මලක් පිපෙනා තැනෙක
තිබුණාම කඳුළු බිඳුවක්
පිපෙනා මලත් වෙනවාද
නොදැනීම කඳුළක්
සීතල පොළව ඉකිබිඳ
හැඬුවද හොරෙන් හැමටම
කම්පිත හඬට ඇහුරුණු
මලක් හෙව්වද කඳුළු ඉහිරුණු
ගහ මුල දිගට ඇතිරුණු
පොළව හෙළු කඳුළින් ම මතුවුණු
පොකුණක් වීය නෙත්කළු
මල මලේ රුව කඳුළු මැද දුටු
හන්තාන කන්ද පාමුල
මල් වරා විහිදුණු ගසක් යට
ඉකි බිඳ හෙමින් වැළපෙන
හදවතක් වළලලා තිබෙනු දැක්කද......
සුවඳ රැඳි මල් වාරෙ මතකය
අතුරලා ගස යටින් හෙමිහිට
පින් සිරිත් කර පැන් වඩා බිම
බිඳුණු හද වළ දම්මෙ කවුරුද......
තවම හඬනා හදේ මතකෙට
මියුණු ගහ සුළඟට වැනෙන විට
ඒ මතක මැද සෙමින් මිය ගිය
මල් සුවඳ පොද මැකී යාවිද......