Monday, June 8, 2015

විප්ලවීය ආචාරය

බැටන් පොළු
බූට් අඩි
හත අටක් 
කා ගෙනම
සිරිල් අයියා ගියේ
බැරියරුත් පෙරළගෙන
කඳුළු ගෑසුත් වැදී
ඇස් කෙවෙණි
රිදෙනකොට
සිරිල් අයියා හෙව්වෙ
ගඩොලකුයි ගහන්නට
විප්ලවේ ගැන කියපු
කතා ගැන ඇහෙනකොට
සිරිල් අයියා හිටියෙ
සුරලොවක් දකින්නට
රතු ඇඳලා
රැවුල වැව්
සහෝදරු දකිනකොට
පපුව පුම්බන් සිරිල්
ගියේ ඉස්සරහටම
අහක යන උණ්ඩයක්
පපුවටම වැදුනාම
සිරිල් අයියා වැටුණෙ
බැනරයක් පෙරලාන
සිරිල්වත් පාගගෙන
සහෝදරු දුවනකොට
ඔච්චමට හිනාඋනෙ
ඉර ඉඳන් අහස මැද
පොඩි එකයි කාන්තිය
මිනිය ළඟ අඩනකොට
බැනරයක් එල්ලුනා
ගෙට හැරෙන දෙවැට ළඟ
පාගගෙන දුවපු උන්
රැවුල ඇද ඇද ජයට
කෑ ගැහුවා සිරිල්ගේ
නොමැරෙනා මතක ගැන
ආපු උන් ඔක්කොමලා 
හැන්දෑවෙ ගිය පසුව
පොඩි එකයි කාන්තියි
තනි උනා අඳුර මැද
ලණු කැඩුණු බැනරයේ
අකුරු එහෙ මෙහෙ වැනෙන
තිබුණා අවසන් කියුම

‘විප්ලවීය ජීව ගුණය රැකගෙන
අධිපතිවාදී වෙඩි උණ්ඩයට දිවි දුන්
සිරිල් සහෝදරයාට
අපේ විප්ලවීය ආචාරය’

No comments:

Post a Comment