Friday, October 24, 2014

පේමෝතිගෙ ළමයි


උදයෙන්ම නැගිට
ලිප මුල්ලෙ පෙළට
වාඩි වී ඉන්න
තේ ඩිංග බොන්න
ඊට පස්සේ ගිහිං
මූණ කට දොවන
උං
පේමෝතිගෙ ළමයි

ආප්පත් රැගෙන
කඩපිලට දුවන
දුවන්නට කළිං
අම්මටත් වඳින
අනිත් උන්ටත් කළිං
ඉස්කෝලෙ දුවන
උං
පේමෝතීගෙ ළමයි

ඉගෙනුමට දක්‍ෂ
දුවන්නත් දක්‍ෂ
වොලිබෝල් ගහන
ගුරුවරුන් කැමති
හැබැයි
ලොකු ටීච බනින
උං
පේමෝතිගෙ ළමයි

ලොකු එකා දොළහෙ
පොඩි එකා හතරෙ
දෙවනියා දහයෙ
කෙල්ල නම් නවයෙ
උංට උන් කිට්ටු
ආදරෙන් වැඩුණු
උං
පේමෝතිගෙ ළමයි

ලොකු එකා සමන්
මහත්තැන් කෙනෙක්ගෙලු
දෙවනියා පියල්
කඩේ මුදලාලිගෙලු
කාන්තිගෙ හැඩේ
ලොකු ටීචගෙ දුවගෙමලු
පොඩි එකා නං ඉතිං
පියරත්නයා ගෙමලු
ඒත් උං
පේමෝතිගෙ ළමයි

වැලට බර නැතිව
හරි හොඳට හැදෙන
කතන්දර අහං
ඒවාට අඩන
ඒ අඩන ගමං
හයියටත් හිතන
උං
පේමෝතිගෙ ළමයි


No comments:

Post a Comment