කඳු මුදුනට යන පාරේ
දැකලා පුරුදු
ගස් හෙවනක
නතර උනා නිවාගන්න
ගත දවනා ගිම්විඩාව
වාඩි වෙලා මුල් අතරින්
පිට දී මහ ගස් කඳ වෙත
මුවා උනා හිරු එළියෙන්
රත් වී හිස මත නලියන
හමනා මුදු මද සුළඟට
ගස මත රැඳි කූජනයට
පියවුණි දෑසම නොදැනී
ගත විඩාව සිඳෙනා විට
පියවුණු දෑසට බර දී
ඈතින් ඈතට රැව්දෙන
ඇසුනා මද ඉකිබිඳුමක්
සිහිනෙන් මෙන් මගෙ සවනට
සිහිනයෙකැයි සිතා සිතින්
නොතකා හිඳිනට සැදු මුදු
ඈතින් ඈතින් ඇසුණා
මතකය අග රැඳුනු නමක්
ගැස්සී ඇහැරී නැගි විට
පිට දී උන් ගස් කඳ මත
අත රැඳුණා කඩතොළු වුණු
ගස් කඳ මත කෙටු අකුරක
මගෙන් ඈත යන්න කළින්
හමු වී මේ මහ ගස යට
මතක් වුණා නුඹ කෙටු බව
අපි දෙන්නගෙ නමෙ මුලකුර
ඉකිබිඳිනා අපෙ හදවත්
තනා කූඩුවක් ගස පිට
එක්ව හ`ඩන හ`ඩ ඇහෙනවා
විසි වසකට පසුවත් අද
No comments:
Post a Comment