Friday, January 30, 2015

මිනිරන් කවිය

කහටගහ පතලේ
සේදු මිනිරන්
කන්ද මුදුණේ
හිරු සෙමින් දිලුණේ
කන්ද පාමුල
අඳුරෙ තිබුණේ
දබරයෙන් ඉහලට
ගෙනෙන මිනිරන් මුදුනට
සෝදනා දෑත් වල
කළු පැහැය
සේදුවේ කවුරුද
දැවෙන කුස ගිනි මැද
හෙළා කඳුළුත් දහඩියත් අද
ගන්න සොච්චම් පඩිය දැක දැක
හෙට දිනේ හිනැහෙන්නෙ කවුරුද
මිනිරන් වලින් කළු වී
කළු උනත් ගත එයින් නැහැවී
දසන් පෙළ සුදුවී
කියයි කවියක් හදින් ඇහැරී

Saturday, January 24, 2015

වසන්තයෙ පළමු මල

පිපෙන්නට වෙර දරන
වසන්තයෙ පළමු මල
ශීතලෙන් ගල් ගැහුණු
පොහොට්ටුව බිඳ හෙලන්
ගිම්හාන දුක සමග
සිසිරයේ වියෝ මැද
රිදුණු පෙති විහිදාන
පිපෙන්නට වෙර දරයි
ලතෙත් වූ සරු බිමක්
ලේ කඳුළු පොහොණි වුණු
පිපෙන මල පිළිගන්න
දයාවෙන් මග බලයි

Thursday, January 22, 2015

අතීත සැමරුම්

කඳු මුදුනට යන පාරේ
දැකලා පුරුදු
ගස් හෙවනක
නතර උනා නිවාගන්න
ගත දවනා ගිම්විඩාව
වාඩි වෙලා මුල් අතරින්
පිට දී මහ ගස් කඳ වෙත
මුවා උනා හිරු එළියෙන්
රත් වී හිස මත නලියන
හමනා මුදු මද සුළඟට
ගස මත රැඳි කූජනයට
පියවුණි දෑසම නොදැනී
ගත විඩාව සිඳෙනා විට
පියවුණු දෑසට බර දී
ඈතින් ඈතට රැව්දෙන
ඇසුනා මද ඉකිබිඳුමක්
සිහිනෙන් මෙන් මගෙ සවනට
සිහිනයෙකැයි සිතා සිතින්
නොතකා හිඳිනට සැදු මුදු
ඈතින් ඈතින් ඇසුණා
මතකය අග රැඳුනු නමක්
ගැස්සී ඇහැරී නැගි විට
පිට දී උන් ගස් කඳ මත
අත රැඳුණා කඩතොළු වුණු
ගස් කඳ මත කෙටු අකුරක
මගෙන් ඈත යන්න කළින්
හමු වී මේ මහ ගස යට
මතක් වුණා නුඹ කෙටු බව
අපි දෙන්නගෙ නමෙ මුලකුර
ඉකිබිඳිනා අපෙ හදවත්
තනා කූඩුවක් ගස පිට
එක්ව හ`ඩන හ`ඩ ඇහෙනවා
විසි වසකට පසුවත් අද

Monday, December 22, 2014

ඒ සඳ හා මේ සඳ

සඳ ඒවිද ඔබත් එක්ක
මං වගේ ම අත් අල්ලං
සඳට සඳත් අමතක වන
හැන්දෑවල් ගෙවාලන්න
සඳ ඒවිද ඔබත් එක්ක
එළි වෙනතුරු තරු ගනින්න
ඔය උකුලේ හිස සතපා
එළි වෙන තුරු ගිම් නිවන්න
සඳ ඒවිද හිනා අරං
නුඹට ඔ්නෙ හැම වෙලේම
කඳුළු බින්දු අමතක කර
නුඹත් එක්ක හිනා වෙන්න
මං තරමට ආදරයෙන්
ඒ සඳ උන්නොත් නුඹ ළඟ
මං ඉන්නම් ඈතට වී
සඳක් නැගෙන තුරු අහසට

අතරමං හිරු

දැවී රත් වූ
අහස් තලයෙන්
සොයා යන්නට
සිසිල් නිවනක්
අතරමං වී
ඉමක් සෙව් හිරු
සයුරු තලයේ
කිමිදුණා