බෝ එකක් හිර කරං
ගෙල වටේ මහ තදට
බුරුසු රැවුලක් වවං
තොල් උඩිං ලතාවට
බයිට් බෝතල් අරං
සෝඩා බෝතල් කඩන
කුමාර් උඹ ගැන දුකයි
ඇත්තටම මගෙ හිතට
අපි කියන අපි අහන
කතා උඹ අහන් නෑ
මේසෙ උඩ බයිට් එක
තියලා උඹ දුවන්නෑ
අඩුපාඩු හැම එක ම
නොබල උඹ යන්නෙ නෑ
ටිප් එකක් නොදුන්නට
කිසි දාක රවන්නෑ
දොර වහපු වෙලාවට
පුංචි අඩියක් ගහමු
ඒ ගහන වෙලාවට
අපි ගානෙ බයිට් කමු
දුම් උගුරු දෙක තුනක්
සිවිලිමට පා කරමු
අපෙ කතන්දර වහලා
උඹෙ කතා අපි අහමු
පැටලෙනා සිංහලෙන්
කතා කෙරුවත් අපිට
උඹ දෙමළ බව දැණුනෙ
නෑ අපිට කිසි විටෙක
බෝතලේ බයිට් වල
සෝඩ වල කිසි තැනක
ජාතියක් ජම්මයක්
තිබ්බෙ නෑ කිසි දිනෙක
හීන පුරවපු මගේ හදටම
කඳුළු බිඳකින් වෙඩි තබා
ගලා යන රතු ලේ බිඳක් මත
උණුහුමට ඔබෙ තොල් තියා
ඒ දෙතොල් මගෙ දෙතොලෙ තවරා
දෙතාල ලූ අගුලුත් කඩා
කියන්නට වදනක් කළිං මා
ඔබ ගිහිං සුළඟක් වෙලා
කහටගහ පතලේ
සේදු මිනිරන්
කන්ද මුදුණේ
හිරු සෙමින් දිලුණේ
කන්ද පාමුල
අඳුරෙ තිබුණේ
දබරයෙන් ඉහලට
ගෙනෙන මිනිරන් මුදුනට
සෝදනා දෑත් වල
කළු පැහැය
සේදුවේ කවුරුද
දැවෙන කුස ගිනි මැද
හෙළා කඳුළුත් දහඩියත් අද
ගන්න සොච්චම් පඩිය දැක දැක
හෙට දිනේ හිනැහෙන්නෙ කවුරුද
මිනිරන් වලින් කළු වී
කළු උනත් ගත එයින් නැහැවී
දසන් පෙළ සුදුවී
කියයි කවියක් හදින් ඇහැරී
පිපෙන්නට වෙර දරන
වසන්තයෙ පළමු මල
ශීතලෙන් ගල් ගැහුණු
පොහොට්ටුව බිඳ හෙලන්
ගිම්හාන දුක සමග
සිසිරයේ වියෝ මැද
රිදුණු පෙති විහිදාන
පිපෙන්නට වෙර දරයි
ලතෙත් වූ සරු බිමක්
ලේ කඳුළු පොහොණි වුණු
පිපෙන මල පිළිගන්න
දයාවෙන් මග බලයි
කඳු මුදුනට යන පාරේ
දැකලා පුරුදු
ගස් හෙවනක
නතර උනා නිවාගන්න
ගත දවනා ගිම්විඩාව
වාඩි වෙලා මුල් අතරින්
පිට දී මහ ගස් කඳ වෙත
මුවා උනා හිරු එළියෙන්
රත් වී හිස මත නලියන
හමනා මුදු මද සුළඟට
ගස මත රැඳි කූජනයට
පියවුණි දෑසම නොදැනී
ගත විඩාව සිඳෙනා විට
පියවුණු දෑසට බර දී
ඈතින් ඈතට රැව්දෙන
ඇසුනා මද ඉකිබිඳුමක්
සිහිනෙන් මෙන් මගෙ සවනට
සිහිනයෙකැයි සිතා සිතින්
නොතකා හිඳිනට සැදු මුදු
ඈතින් ඈතින් ඇසුණා
මතකය අග රැඳුනු නමක්
ගැස්සී ඇහැරී නැගි විට
පිට දී උන් ගස් කඳ මත
අත රැඳුණා කඩතොළු වුණු
ගස් කඳ මත කෙටු අකුරක
මගෙන් ඈත යන්න කළින්
හමු වී මේ මහ ගස යට
මතක් වුණා නුඹ කෙටු බව
අපි දෙන්නගෙ නමෙ මුලකුර
ඉකිබිඳිනා අපෙ හදවත්
තනා කූඩුවක් ගස පිට
එක්ව හ`ඩන හ`ඩ ඇහෙනවා
විසි වසකට පසුවත් අද