Thursday, July 10, 2014

ඉද්ද පඳුර


පුච්චපු ගඩොලින් බැඳලා, බාගෙට කපරාරු කරපු බිත්තියක් දෙපැත්තෙ, දෙන්නෙක් නතර වෙලා උන්නා. දෙන්නගෙම ඔළුවට උඩින් තිබ්බෙ එකම වහලක්. තැනින් තැන පිපිරිච්ච උළු කැට දෙන්නගෙම ඔළු වලට උඩින් ඒ වහලෙ තිබ්බා. හුඟාක්ම තදින් වහින දවසක හිරිකඩට වැටුණු පිණි බින්දු වලට මේ දෙන්නම තෙමුණා. ගෙන්දගම් පොළවෙ දවසම රත්වෙන නිසා දෙන්නම ඒක ඒ තරම් ගණං ගත්තෙ නෑ.

දෙන්නා මේ තාවකාලික නවාතැනට ආවෙත්, ගියෙත් වෙලාවල් දෙකක. ඒනිසා ඒ දෙන්න කිසිම දවසක මුහුණට මුහුණ හම්බ වෙලා නෑ. ඒත් හැම දේම නිසල වුණු ? කාලෙදි වීදුරු වළලූ කීපයක් අතකින් ගැලවෙනවා එක පැත්තක උන්නු කෙනෙකුට ඇහුණා. පුංචි කුරුල්ලන්ගෙ කිචිබිචිය ඇරෙන්න වෙන සද්දයක් නැති හිමිදිරි පාන්දරක පරණ රේසර් එකක් මූණෙ ඇතිල්ලෙනවත්, මූණ කැපෙන වාරයක් ගානෙ නොදැනීම ගිලිහෙන නොසරුප් වදනකුත් අනිත් පැත්තෙ ඉන්න කෙනාට ඇහුණා.

මේ දෙන්න ඉන්න කාමර වලින් එකම පැත්තට ඇරුණු ජනෙල් දෙකක් තිබුණා. ඒ ජනෙල් දෙකෙන් බැලූවම දෙන්නට ම පෙණුනෙ සුදු පාට මල් වලින් වැහුණු ඉද්ද පඳුරක්. වාරයක් අවාරයක් කියලා නැතිව මේ ඉද්ද පඳුර හැමදාම සුදු පාට සේලයක් වගේ මලින් වැහිලා තිබුණා. ඉද්ද පඳුර තිබුණෙ හරියටම කාමර දෙක මැද්දෙ හින්දත්, ජනෙල් දෙක හැම වෙලාවෙම ඇරුනෙ දෙන්නට ප‍්‍රතිවිරුද්ධ දිසාවට නිසත් ඒ දෙන්නට දෙන්නා ඉද්ද පඳුර දිහා අනිමිසලෝචනයෙන් ඉන්නවා ඒ දෙන්නා දැක්කෙ නෑ.

කාලෙ හෙමින් ගෙවිලා ගියා. වීදුරු වළලූ වල සද්දෙ බරට ඇහෙන රත්තරං වළලූ වල සද්දෙට මාරු වෙන්නත්, සියුම් උරුවම් බෑමකුත් එක්ක නොසරුප් වදන් නැති සිනිදු රැුවුල බෑමක හ`ඩ අනිකට ඇහෙන්නත් ඇරෙන්න ඒ කාලෙ සිද්ද වුණු වෙනත් විශේෂ දෙයක් තිබුණෙ නෑ. ඉද්ද පඳුර හැමදාමත් වගේ මල් පුරවගෙන උන්නා.

දවසක් ඉද්ද පඳුරෙ මල් වල සුවඳ විඳින ගමන් වළලූ දාන්න හදද්දි එක වළල්ලක් බිමට වැටුණා. තනියම ඉන්න හිත හයිය කරං උන්නට ජනේලෙකින් පැනලා වළල්ල ගන්න තරං ඒ හිතට හයියක් තිබුණෙ නෑ. කරන්නෙ මොකක්ද කියලා ලතැවි ලතැවි ඉද්දි අනිත් පැත්තෙ කාමරේ ඉඳලා වළල්ල දිහාට දික්වෙන කොසු මිටක් දැකලා ඒ හිත නතර වුණා. දෙතුන් වතාවක් උත්සහ කරලා කොහු මිටේ පටලව ගත්ත වළල්ල ජනෙල් පළු දෙකට යටින් අනිත් කාමරේ ජනේලෙට ළං වුණා. වළල්ල ළං කරපු කොහු මිට අල්ලං හිටපු අත වළල්ල ගනිද්දි දැක්කෙ නැති වුණත්, කොහු මිටේ පැටලිලා තිබ්බ වළල්ල ගනිද්දි ඒ ඇඟලි වල ඉහිරිලා තිබ්බ රෝස පාට කොස්ස අල්ලං හිටපු කෙනගෙ ඇස් වලින් හංගන්න බැරි උනා. යාන්තමින් ඇහුණු ස්තූතිය එක්ක, ඒක කියද්දි ඒ ඇස් වල පුංචි හිනාවක් තියෙන්න ඇති කියලත්, තමන්ගෙ ස්තූතිය ඇහෙද්දි, ඒ මූණෙත් පුංචි හිනාවක් ඇඳෙන්න ඇති කියලත් දෙන්නටම හිතුණා.

දවසක් හවසක මහ වැස්සක් වැස්සා. ඇතුලට ඇවිත් වළළු ගලවමින් උන්නු කෙනා වැස්සට ඉස්සෙල් වහලෙ යටට එනන් පුළුවන් වීම ගැන සතුටු වුණා. යන්න තියෙන ගමන කොයි තරම් වැදගත් වුණත්, කුඩයක් නැතිව මේ වැස්සෙ එළියට බහින්න බැරි කම ගැන අනිත් කෙනා විස්සෝප වුණා.

ඒ වැස්ස මහ හයියෙන් වැස්සා. අහස කළු කරගෙන, පාර වල් යටවෙන්න මහා වැස්සක් වැස්සා. පාරවල් වල වතුර ගලාගෙන ගියා. පාරවල් පුරා ඉබාගාතේ දුවමින් හිටපු සත්තු නොතෙමී ඉන්න අගුපිල් වලට ගාල් වුණා. කුඩයක් ඉහළංවත් මේ වැස්සෙ යන්න බැරි බව තේරුණු මිනිස්සුත් කුඩ අකුලගෙන නොතෙමී ඉන්න පුළුවං තැන් වලට ගියා. කොයි තරම් තදින් වැස්සත් ඒ වැස්සෙන් අලූත් හුස්මක් ගන්න ලෑස්ති වුණු ඉද්ද පඳුර අතු ඉති විහිදාගෙන වැස්ස පිළිගන්න ලෑස්ති වුණා.

ගමන යන්න ඇඳගත්ත ෂර්ට් එක ගලවලා දාපු එක්කෙනෙක් අත උඩින් ඔළුව තියාගෙන ඇඳේ ඇල වුණා. ඇඳං ආපු ඇඳුම් ගලවලා දාපු අනිත් කෙනත් දැනෙන්න අරං තිබ්බ සීතල අඩු කර ගන්න රෙද්දකුත් පොරවං ඇඳට වැටුණා. බිඳිච්ච උළු කැට අතරින් දැනෙන නොදැනෙන තරමේ පුංචි හිරිකඩක් දෙන්නගෙම කාමර වලට පාත් වුණා. පුපුරපු හෙණ හ`ඩට දෙන්නගෙම ඔළුවලට උඩින් තිබුණු උළු කැටත් හෙල්ලූණා.

දෙන්නා නොදන්නවා උනාට දෙන්නගෙ ඇඳවල් තිබුණෙ එකම බිත්තියකට හේත්තු වෙලා. ඇඳේ අයිනටම වෙලා, තදින් බිත්තියට හේත්තු වෙලා මහ හ`ඩින් වහින වැස්සෙ සද්දෙත්, මහ හ`ඩින් පුපුරණ අකුණු වල සද්දෙත් අහං උන්නු දෙන්නට වැස්ස අතරින් බිත්තිය අතරින් තුනී උණුහුමක් දැනෙන්න ගත්තා. මහා සීතල කඩාගෙන යාන්තමට දැණුනු ඒ උණුහුමට දෙන්නම ආශක්ත උනේ නොදැනීමයි. දෙන්නගෙම පිටවල් දිගේ තුනියට ගලාගෙන ගියපු ඒ උණුසුම අන්තිමට දෑඟිලි වලින් විඳගන්න දෙන්නම නොදැනීම බිත්තිය පැත්තට හැරුණෙ එකම වෙලාවක බව බිත්තිය දෙපැත්තෙ උන්නු දෙන්නම දැනං උන්නෙ නෑ. ඒත් නොදන්නා සිතිවිලි කාන්දමකින් වගේ දෙන්නගෙම ඇඟිලි තුඩු එකාකාරව බිත්තිය දෙපැත්තෙ මනෝමය රවුම්, ඉරි අඳින්න ගත්තා.

වැස්ස නැවතුණා. හෙණ හ`ඩ අඩු වෙලා ගියා. මහ හයියෙන් හමාපු හුළඟ නැවතුනා. පාරවල් වල පිරිලා තිබුණු වතුර කාණු දිගේ ගලාගෙන ගියා. පාරවල් වල හෑරිලා තිබ්බ වලවල් වල වතුර විතරක් ඉතිරි උනා. වැස්ස නිසා අගුපිල් වලට ගාල් වුණු සත්තු හෙමින් පාරට බැස්සා. වැහි පොද බර වැඩිව බිමට වැටුණු ඉද්ද මල් ටිකක් ඇරෙන්න ගහේ තිබුණු අනිත් ඉද්ද මල් සේරම කළු පාට අඩු වෙමින් යන වළාකුළු අතරින් එබෙන ලා හිරු රැුස් එක්ක හිනා වුණා.

මොකද්දෝ නොදන්නා හැඟීමකින් දෙන්නම ඇඳෙන් බිමට බැස්සා. එක්කෙනෙක් එකපාරටමත්, අනිත් කෙනා ඊට ටික වෙලාවකට පස්සෙත් ජනේලෙ ළඟට ඇදුණා. බිමට වැටිලා මඩ අතරින් සුදු පාටට ඉද්ද මල් ගොඩාක් බිම වැතිරිලා තිබ්බා. ගහේ කොළ අතරින් ඊටත් වඩා ගොඩක් සුදු පාට ඉද්ද මල් වෙනදා වගේම හිනා වෙවී බලාගෙන උන්නා.

ඉද්ද මල් වලින් විහිදුණු සුවඳ දෙන්නගෙම හිත් වලට මීට ඉස්සෙල්ලා කවදාවත් නොදැණුනු තරමේ සැහැල්ලූවක් ගෙනාවා. කියාගන්න බැරි හැඟීමක් දෙන්නගෙම හිත් වල මෝදු වෙන්න ගත්තා. ඒ හැඟීම කවම කවදාවත් වචන වලට පෙරලන්න බැරි බවත්, ඒ හැඟීීම හැමැදාටම දෙන්නගෙ හිත්වල ඉතුරු වෙන බවත් දෙන්නම දැනං උන්නා.

අත දිග මානෙට ඇදිලා තිබ්බ ඉද්ද මලක් කඩා ගන්න වළලූ දාපු අත දික් උනා. ජනෙල් උළුවස්සට බර වෙලා ඉස්සරහට ඇදුනත් ඒ මල කඩා ගන්න තරම් ඒ අත දිග උනේ නෑ. ඉස්සරහට ඇදිලා මල කඩන්න උත්සහ ගද්දි හුළඟට ගහගෙන ආව කෙස් රොදවල් කීපෙකුත්, ඇඳං උන්නු මල් ගවුමෙ අතත් ඇරෙන්න වෙන කිසිම දෙයක් අනිත් පැත්තෙ උන්නු කෙනාට පෙණුනෙ නෑ.

අන්තිම උත්සහයත් දරලා දිග හුස්මකුත් එක්ක ජනේලයෙන් මෑත් වෙද්දිම අනිත් පැත්තෙ ජනේලය ළඟ උන්නු කෙනා මල් ගහ අද්දරට පැන්නා. ඒ හුස්මටම අත මානෙ තිබ්බ ඉද්ද මල කඩලා ගනිද්දි ගහේ රැුඳිලා තිබ්බ පිණි අහුරු ගොඩක් සිලි සිලි සද්දෙන් බිමට වැටුණා.

මලත් අරං අනිත් පැත්තෙ ජනේලෙ දිහා බලද්දි පුදුමයෙන් ලොකු වුණු ඇස් දෙක්ක තමන් දිහා බලං ඉන්නවා ජනේලෙන් එළියෙ උන්නු කෙනාට පෙණුනා. ඇස් හතර යාවෙද්දිම හමාගෙන ආව හුළඟකින් ඉද්ද ගහේ තිබුණු පිණි කැට සේරම බිමට හැළුණා. ඉද්ද මල් වල සුවඳින් පළාතම වැහිලා ගිය ඒ වෙලාවෙ එතෙක් මෙතෙක් නොගැහිච්ච රිද්මෙකට ඒ හදවත් දෙක ගැහෙන්න ගත්තා.

එදායින් පස්සෙ දෙන්නගෙ ජීවන රටාව වෙනස් වුණා. එක ම මොහොතක ඒ උළු බිඳුණු වහලෙ යටින් එළියට යන්නත්, පුළුවන් හැම වෙලාවෙම එකම මොහොතක ඒ උළු බිඳුණු වහලෙ යටට එන්නත් ඒ දෙන්නම උත්සහ ගත්තා. ඒ වහලෙ යට උන්නු තවත් ඇස් ගොඩකින් හැංගෙන්න ඕනෙ හින්දම පාරත් ඉද්ද පඳුරත් අතරෙ තිබුණු බදාම ගැලවිලා තැනින් තැන ඉරි තලලා තිබුණු තාප්පෙට එහා පැත්තෙදි විතරක් මුණ ගැහෙන්න දෙන්න ගිවිසගෙන උන්නා.

එක ම බිත්තියකින් වෙන් වෙලා උන්නු දෙන්න කාමරේ උන්නු හැම වෙලාවෙම ඒ බිත්තියේ දෙපැත්තෙ ඉඳලා, ඒ වහළ යට උන්නු තවත් බෙහෝ දෙනෙකුට නෑහෙන්න ? තුන් තිස් පැයක් යන කල් කොඳුරමින් මුමුණමින් කාලෙ ගත කළා. උදේ ඇහැරෙද්දිත් ඒ දෙන්නගෙ අත්ලවල් බිත්තියට තද වෙලාම තිබුණා. කල් යද්දි ඒ අත්ලවල් ගෑවිච්ච තැන් වල තද පාට පැල්ලමක් ඇඳිලා තිබුණා.

දාහක් ඇස් වලිං හැංගිලා උන්නු කාලෙ ඇති කියලා දෙන්නට ම හිතුණෙ ඒ වහලෙ යට උන්නු තවත් ඇස් දෙහෙකට ඒ දෙන්නව පෙණුනා කියලා දෙන්නටම සැකයක් ඇති වුණු පළවෙනි දවසෙදිමයි. දෙන්නම දෙන්නගෙ දවසේ වැඩ කලින් හමාර කරලා පාරට බැහැපු වෙලාවක අහම්බෙන් වගේ පාරෙදි හම්බ වුණාම දෙන්නගෙම ඇස් වල ඇඳුනෙ සතුට වැගිරෙන විමතියක්. ඒ එක්කම කඩාගෙන හැළුණු පිණි වැස්සටදෙන්නගෙ පිහිටට උන්නෙ පුංචි කුඩයක් විතරයි. තෙමෙන නොතෙමෙන ගානෙන් වැස්සට මුවාවෙන්න හෙවනක් හොයාගෙන යද්දි කාටත් නොපෙනෙයි කියලා හිතුණු වෙලාව ඔහු ඇගේ කොපුලකට වැටුණු වැහි බින්දුවක් දෙතොල් වලින් පිහ දැම්මා. ඒ එක්කම හමාපු තද හුළඟකට මෑත් වුණු කුඬේ නිසා නිරුවත් වුණු ඒ මූණු දෙක ළඟපාත කඬේක උන්නු කීප දෙනෙක්ගෙ ඇස් වළින් හංගන්න කරන්න බැරි උනා. ඒ අතරෙ අර උළු බිඳුණු වහලෙ හෙවන බෙදාගන්න, නම නොදන්න, ආගන්තුකයෙකුත් උන්නු බව දෙන්නගෙම ඇස් වලට පෙණුනා.

එදා දෙන්නම වහලෙ යටට ආවෙ ලොකු බරක් හිතේ තද කරගෙන. ඒ බර වටාපිටාවත් දැනිලා වග දෙන්නටම ඒත්තු ගියේ ඉද්ද පඳුරෙ මල් අඩුයි කියලා දැණුනමයි. හිතේ තිබුණු බර කොයි තරම් දැණුනත් එදත් වෙනදා වගේම දෙන්න බිත්තය දෙපැත්තෙ තිබුණු පැල්ලම් දෙකට අත් තියාගෙන ඇස් පියා ගත්තා. ඇස් පියා ගත්තට නින්ද නාව නිසා දෙන්නම දෙපැත්තට වෙලා කල්පනා කෙරුවෙ දෙන්නා දෙපැත්තට වෙලා දකින මේ හීනෙ එක තැනකට වෙලා දකින්නෙ කොහොමද කියන එකයි. එක්කෙනෙක් අනිත් කෙනාගෙ පපුව උඩින් ඔළුව තියාගන ඒ හීනෙ ඉතුරු ටික බලන්න හීන මවද්දි අනිත් කෙනා ඒ පපුව උඩ තියාගෙන ඉන්න ඔළුවෙ කෙස් රොද අතරින් දෑඟිළි ගෙනයන හැටි ගැන සිහින මැව්වා.

පුදුමෙකට වගේ හැමදාම ඉද්ද පඳුරෙ පිපෙන මල් ගාන අඩු වුණා. ගහේ ඉඳලා හිනාවෙන මල් වලට වඩා ගහෙන් බිමට වැටිලා පරවෙන මල් ගාන වැඩි වුණා. පපුවෙ මහ බරක් දරාගෙන උන්නු ඇස් හතරකට මේක පෙණුනෙ නෑ. අත්තටම ඒ හිත් දෙකට ඒ තිබුණු ප‍්‍රශ්නෙ විසඳගන්නවා මිසක් ඉස්සර වගේ ඉද්ද පඳුර දිහා බලං අනිමිසලෝචනය කරන්න කාලයක් තිබුණෙ නෑ.

මේ බිඳුණු උළු කැට තියෙන වහලෙ යටිනුත්, බාගෙට කපරාරු කරපු බිත්ති අතරිනුත් සදහටම සමුගන්න ඕනෙ කියලා දෙන්න අන්තිමේදි තීරණය කළා. ගඩොලින් බැඳපු බිත්ති නැත්ත, ලෑලි වලින් හරි වෙන්වුණු පුංචි කාමරේක, බිඳුණු උළු නොතිබුණත් ටකරං වළින් හරි හෙවන වුණු එකම වහලක් යටට යන්න දෙන්න තීරණය කළා. අලූත් බලාපොරෙත්තුවක පුංචි එළියක් දෙන්නටම ඈතින් පෙණුනා. මේ හැමදේම වෙන අතරෙ ඉද්ද පඳුරෙ මල් අඩුවෙමින් ගියා. සුදු පාට සේලයක් එළලා වගේ තිබුණු ඉද්ද පඳුර කොළ පාටින් දිදුළන්න ගත්තා. ඉස්සර වගේ මල් නොපිපුණු හින්දම ද කොහෙදෝ කොළ පාට කෙළ අතරින් මැරීගෙන යන කොළවලයි, අතු වලයි දුඹුරු පාට ඉක්මනින් ඉද්ද පඳුර වහගන්න ගත්තා.

කණින් කොණින් ආරංචි කරලා නවතින්න පුළුවන් කියන නවාතැනක් බලන්න දෙන්න දවසක් හැන්දෑවෙ ගියා. මහා ලොකු සිරියාවක් නැති වුණත් මවා ගන්න හිතං උන්නු හීන මාළිගාව ඒ බිත්ති හතර ඇතුලෙ හදන්න පුළුවන් වෙයි කියලා දෙන්නටම හිතුණා. දොර ඉස්සරහම තිබුණු රතු පාට මල් පිපුණු වද ගහ එන්න ඉස්සරින් දවසක ඇවිත් කපලා දාමු කියලා දෙන්න කතා වුණා.

මළ ඉර බැහැගෙන යද්දි වෙනදා නොතිබුණු සැහැල්ලූවකින් දෙන්න බාගෙට කපරාරු කරපු බිත්ති තියෙන, බිඳුණු උළු කැට තියෙන නවාතැනට එන්න ආවා. කාගෙවත් ඇස් වළිං හැංගෙන්න ඕනෙ නෑ කියන ආඩම්බරකාර හිතිවිල්ල දෙන්නගෙම හිතේ තිබුණු නිසා දෑත් පටළං නවාතැනට එන්න දෙන්නම බය වුණේ නෑ. ළඟ තියෙන හීනයක් අතින් අල්ලන්න දෙන්න දෑස් පියාගත්තු එක නිමේෂෙකට ට‍්‍රැෆික් ලයිට් කණුවක කහ පාට එළියට ඉස්සෙල්ලා හන්දිය පනින්න ආව බස් එකක් ඒ දෙන්නව යට කරං යන්න එන බවවත්, මොහොතකින් ඒ දෙන්න යට කරං ගිය බවවත් ඒ දෙන්නම දැනං උන්නෙ නෑ.

දෑත් පටලාගෙනම ආ මග අවසන් ගමන් ගිය දෙන්නා යට කරන් ගියපු බස් එක නැවතුණේ පාර අයිනේ තිබුණු තාප්පෙ වැදුණමයි. මහ හ`ඩින් ඇහුණු සද්දෙත් එක්ක, බදාම ගැලවිලා, තැනින් තැන ඉරි තලලා තිබුණු තාප්පෙන් කොටසක් ගැලවිලා ඉද්ද පඳුර පොඩි පට්ටම් කරගෙන බිමට වැටුණා.

2 comments:

  1. මං මීට කලිං නං මේ පැත්තෙ අැවිල්ලා නෑ වගේ!!!
    මූණුපොතේ ඊ-සංකලණියෙං මේ පැත්තට පාර හොයාගත්තෙ!!

    නිර්මාණය හරිම අපූරුයි දිමුතු!! අගයන්න වචන නෑ!!

    ReplyDelete
  2. මං මේ කතාවට ගොඩක් කැමතියි....අවසානය මොකක්දෝ වේදනාකාරී හැඟීමක් ඉතුරු කළේ මට නම්...අපූරුයි සොයුර...

    ReplyDelete