Thursday, January 21, 2016

හිනස්සන හාදු

සිනා මලක් 
දමා ගොසින්
ඇවිත් මගේ
හද පොකුණට
කිති කව කව
හිනස්සනවා
මතක් වෙනා
හැම මොහොතෙම
හාදු දෙකක්
අරං ඇවිත්
තියා එකක්
නළල මතට
හංගන්නද 
තවත් එකක්
ඔය තොල් මත 
නොදැනෙන්නට

තනිව පිපි මල

ඈත ඈතක
පාළු උයනෙක
මලක් තනිවම
බිම පිපිලා ඇති
උයනෙ හිමිකරු
මලේ ලස්සන
දැක්කෙ නෑ වගෙ
ඉන්නවා ඇති
සුවඳ විහිදන්
පෙති සැලූවත්
තනිකමට මල
හඬනවා ඇති
වටේ එතෙනා
සුළං රළටත්
මල මලේ දුක
කියනවා ඇති
ඒ කියූ දුක
එතී සුළෙඟ්
ඈත දුරකට
පාව යන්නැති
මලට පෙම් කළ
ඈත බඹරෙක්
අසා ඒ දුක
හඬනවා ඇති

Saturday, September 5, 2015

දෙවොන්දරා මං ආවා

දෙවොන්දරා මං ආවා
හිම මිදෙනා රටේ ඉඳන්
හිම දියවෙන ඔබෙ පොළවට
ඔබ දකින්න
ඇස් රිදි රිදි
දෙවොන්දරා මං ආවා
හයිවේ එක පහු උනාම
කැළණි ගෙඟ් ඉවුර දිගේ
වාහන පෙළ පහු කරගෙන
කළු දුම් රොටු මැදින්
දෙවොන්දරා මං ආවා
සුෂී කඩයි කබුකි හලුයි
මං දැක්කේ නැති උනාට
රතු පාටට චීන මකරු
මං දැක්කා හැම තැනකම
ඒ අතරින් ඔබ හොයාන
දෙවොන්දරා මං ආවා
දූලි පිරුණු පාරක් ළඟ
කපුටො ලගින බංකු කොණෙක
අඩමානෙට උන් ඔබ දැක
දෙවොන්දරා මං ආවා
බේරෙ ගෙදර ඉස්සරහම
පොඩි උණු කමිසයක් ඇඳං
කොණ්ඩය පීරලත් නැතිව
උන්නු ඔබේ ඉස්සරහට
ආවම මම පෙර වාගෙම
අඳුන ගත්තෙ නැති උනාට
ඔයාව බලන්න
දෙවොන්දරා මං ආවා
රිදී පාට හිස අතගා
මගෙ ළමැදට තුරුල් කරං
තතමි පැදුරු නැති මෙහේදි
කාඩ්බෝඩ් එකක එළං
ඔයා ළඟට වෙලා ඉන්න
දෙවොන්දරා මං ආවා

Tuesday, September 1, 2015

හීන් මැණිකේගේ දළදා පැතුම


වළාකුළු බැම්ම ළඟ
එළාගෙන පොලිතීන්
හිරි වැටුණු කකුල් දෙක
වරින් වර දිග ඇරන්
පනස් වෙනි වතාවත්
වඳින්නට කරඩුවට
හීන් මැණිකේ ආවෙ
තනියෙම්ම දුර ඉඳං
ගෙවුණු අවුරුදු ගානෙ
වීදියේ මැද ඉඳං
නැටුම් නැටුවා ජයට
ටිකිරි නයිදේ හොඳිං
තනිකරලා මැණිකේව
ගියත් දෙව්ලොව බලං
ඉන්නෙ කොහොමද මැණිකෙ
නොබල පෙරහැර ඉතිං
ඇතා පිට කරඩුවට
මල් තියලා වැඳ සිතින්
හීන් මැණිකේ පැතුව
ඇරගන්න දොර නිවන්

Sunday, July 12, 2015

කිරිල්ලියේ

කිරිල්ලියේ හමුවුණෙ නුඹ
ගව් ගානක් පියාඹලා
වෙහෙස නිවන්නට
හෙවනක නතර උනාමයි

ඒ හෙවනෙදි හමුවුණු ඔබ
තැවුල් රැුඳුණු මගේ හිතට
සිහල් සරින් පවන් සැලුවා
මට තව මතකයි

තැවුල් මැකුණු හිතත් අරන්
නුඹ එක්කලා අහසට නැග
පියාඹන්න මගෙ හිත ඇති
හීන මහ ගොඩයි

ඒත් මගේ කිරිල්ලියේ
නුඹයි මමයි හරි ඈතයි
දුරින් ඉඳන් අපි බලනා
හීන සුන්දරයි