Tuesday, December 13, 2016

ආලෝක අයියේ

‘දඩෝ 
අඩියක් ගහමුද?’
අහන්න උඹ ආයෙ එන්නෙ නෑ...
පැයකට
එක හමාරක් බොන්න
උඹ ආයෙ එන්නෙ නෑ.....
අයියෙ කියන ගමන් ම
උඹ කියල කියන්නත්
උඹ ආයෙ එන්නෙ නෑ
ඒ හින්දම,
උඹ නිදං ඉන්නවා බලන්න
මං ගියේ නෑ.....

Wednesday, November 2, 2016

කඳුළු මල

මලක් පිපෙනා තැනෙක
තිබුණාම කඳුළු බිඳුවක්
පිපෙනා මලත් වෙනවාද
නොදැනීම කඳුළක්

කඳුළු පොකුණ

සීතල පොළව ඉකිබිඳ
හැඬුවද හොරෙන් හැමටම
කම්පිත හඬට ඇහුරුණු
මලක් හෙව්වද කඳුළු ඉහිරුණු
ගහ මුල දිගට ඇතිරුණු
පොළව හෙළු කඳුළින් ම මතුවුණු
පොකුණක් වීය නෙත්කළු
මල මලේ රුව කඳුළු මැද දුටු

මල් සුවඳ පොද

හන්තාන කන්ද පාමුල
මල් වරා විහිදුණු ගසක් යට
ඉකි බිඳ හෙමින් වැළපෙන
හදවතක් වළලලා තිබෙනු දැක්කද......
සුවඳ රැඳි මල් වාරෙ මතකය
අතුරලා ගස යටින් හෙමිහිට
පින් සිරිත් කර පැන් වඩා බිම
බිඳුණු හද වළ දම්මෙ කවුරුද......
තවම හඬනා හදේ මතකෙට
මියුණු ගහ සුළඟට වැනෙන විට
ඒ මතක මැද සෙමින් මිය ගිය
මල් සුවඳ පොද මැකී යාවිද......

මලක මතක

පෙති සලා හිනැහුණු
මතකය අතර සිරවුණු
මල නැති සොවින් වැළපුණු
නටුවක් වී ය ගස අග
වේලී අකාලේ මියැදුණු

සාංසාරික ප්‍රේමය

තද කරං ඔ’යත මා අත
තියා ඔබෙ හිස මා උර මත
යන්න මං නුඹ එක්ක සසරෙම
පතනවා සත්තයි සෑම දින

මල් හිනා ගෙන සෑම දිනෙකම
එනතුරා ඔබ හෑම දිනයෙම
යන්න මං නුඹ එක්ක සසරෙම
පතනවා සත්තයි සෑම දින

සුසුම් පා කර කෙහෙ අවුල් කර
ලවන් මත්තට සිපුම් දෙන්නට
යන්න මං නුඹ එක්ක සසරෙම
පතනවා සත්තයි සෑම දින

අළු පැහැට හිස කෙස් දිලෙන දින
අද මෙන්නම එදිනත් ළඟින් හිඳ
යන්න මං නුඹ එක්ක සසරෙම
පතනවා සත්තයි සෑම දින

මියැදුණු මල

අහස වැළපෙන සඳ
වක්කරං කඳුළු පොළවට
පිපිරුණු හෙණ හඩට ඇහැරුණු
මලක් විය නොනිදා රැය පහන් කෙරු
වැහි කඳුළු ඉව කෙරු
ආ තැන සුවඳ සොයමින් ම වැළපුණු
මල හෙළු කඳුළු සඟවා
වැහි දිය ඔහේ බේරුණු
අහසේ කොණැ පිපුණු
තනි තරුව සොය සොයා වෙහෙසුණු
තරු පිපි දෙසින් ගිළිහුණු
වැහි කඳුළු මැද දුකින් වියැළුණු
මලක් විය දිය බත්ව මියැදුණු

ඒ සොඳුරු අවහන්හල

අඩ අඳුරු අවහන් හල් බිම
දුම් රොටු බිඳී
සිවිලිමේ හැප්පෙන
දුම්වැටි එළි දිලෙන
යළිත් එළිය අඩුවී මැකෙන
ටිං ටිලි ටිං හඬින්
බෝතල් වීදුරුත් හැප්පෙන
චාස් හඩ නගමින්
තාච්චිය ලිප අතර නැළැවෙන
නෙක නෙක බයිට්
එක තාච්චියේ හැදෙන
ටිප් එක නොතැබු උන්
බිමං බලං පිටවෙන
තව සීයක් ගහමු
උස් හඬ නිරතුරුව රැව්දෙන
පොඩි පොඩි වලි ඇදෙන
තට්ටු දමමින් ගී ගැයෙන
මෙතරම් තැනක් තව කොහිද
ජීවිතේ රස හොඳින් දැනවෙන

හඬන වෙරළත

වහිනකොට ඈත දියඹට
ඒ වැහි දියට තෙමෙන රළ පෙළ
අරගෙන ඇවිත් කඳුළු වෙරළට
හැංගුවා ඉකිය හෙමි හෙමින් වෙරළත


ඒ වෙරළෙ වැලි මත
දෙදෙනෙක් එක්ව සවසක
තැබූ පියසටහන් වල
ලකුණු මැකුවා හඬන රළ පෙළ

මැකුණු පියසටහන් මත
එකක් ගානේ කඳුළු සිරකර
වෙන්වී ගිය දෙදෙන
හැංගුවා ඒ කඳුළු රළ මත

Monday, March 14, 2016

සැර ලොකු තාත්තේ

කොළඹ සිට හෙමිහිට කන්ද නැගගෙන එනවිට බර වෙච්චි මගෙ හදවත කඳුළු පැන්නා නුවරඑළියෙදි ආවම නිදා උන් තැනට උන්නු හැටි කාවදාවත් නැති ලෙස ඇඳගෙන රත්තරන් පැහැ ඇඳුම ඇඬුවා කට වසාගෙන මං..... උස්සං ගියා ගෙදරටම ඇඬුවා කකුල් මුල හිඳ ආයිමත් ආවෙ නෑ මං දකින්නට ඔබේ උවනත එක්කං ගියා බෝ අය යන අවසන් ගමන හෙමිහිට එක්කහු උනේ නෑ මං එක්කං යන්න කිසි විට පස් කඳු දමා වැහුවට කොහොම වහනද මතකය අනේ...... මං වඩාගෙන හුරතල් කෙරුවට තරමට

Sunday, March 13, 2016

හඬන උල් කටු

අරං ගියහම
පුංචි මල් පෙති
සුළඟ ඇවිදින්
ගහෙන් වට්ටපු
දුකට හැඬුවා
මලේ තනියට
ළඟට වී උන්
පුංචි උල් කටු

Monday, February 22, 2016

සඳ

මදිද සඳ
අහස මැද
හිනැහුණා
වරුවක්ම
නැගෙන්නට
පෙර දිනිඳු
බැස ගියොත්
හොඳ නැද්



Monday, February 8, 2016

සරදියෙල්

තුංග උතුවන්
කන්ද මුදුනට
හිමින් හිරු රැස්
ගලනවා ඇති
මම්මලේ උඹ
ගිහිං බලපං
කෝපි මල්
තව පිපෙනවා ඇති
කාදර්ගෙ ඇස්
වලින් හැංගී
මේනකා දැං 
මග එනව ඇති
වෙනදා වගෙ නෑ
කලබලයි හිත
පොලීසිය කඳු
වටකරලා ඇති
උණුහුමේ 
ඩිංගක් ඉඳින්නට 
අම්ම ආවොත්
හිතට පිං ඇති
වැඳලා 
එක පාරක් අඬන්නට
තාත්තත්
ආවොතින් හිත ඇති
මේනකාගේ 
හුස්මෙ උණුසුම
බෙල්ල මුලටම
තියං උන්නැකි
මං මළොත් හෙම
ම්මමලේ උඹ
කන්ද පහළට
එන්නෙ හෙම නැති

Sunday, January 24, 2016

ආදරේ කවියක්

ආදරේ කවියක්
ඔබ මට
හෙමි හෙමින් කියු
ආදරේ කවියක්
ජීවිතේ දුකකැයි සිතා වුන්
ජීවිතේ ගැන
අලූත් කියැවුම
හෙමි හෙමින්
ළඟ හිඳ කියාදුන්
ආදරේ කවියක්
ඇසූ කියු කවි
දහක් අතරේ
හිතේ පතුලම
සෙමින් පිරිමැද
මගේ ළයටම
තුරුළු වී කියු
ආදරේ කවියක්

Thursday, January 21, 2016

ඉන්න එනවද

තියා හෙමිහිට
ඔබේ නළලට
පුංචි හීනෙක
රැඳුණු හාදුව
ළයට තෙරපා
ළැමේ උණුසුම
ඉන්න එනවද
දිනෙක මා ළඟ 

අපිටත් හොරන්

ගිනිගත් නගර කොණෙක
රත් වූ වීදි අතරින
මතකද පා නැගූ හැටි
අපි
අපිටත් හොරෙන් හෙමිහිට
ලුහු බඳින දහක් ඇස්
සඟවා පහන් කණු යට
මතකද මග හැරන් ගිය හැටි
අපි 
අපිටත් හොරෙන් හෙමිහිට
ඒ බිම පා නගන
අදටත් තදින් සිත දවමින
මතකද වෙන් වෙලා ගිය හැටි
අපි
අපිටත් හොරන් හෙමිහිට

මියෙන මල

නටුව බර වැඩි කියා
බිම හෙළුව මල් කැකුළ
පිළි ගන්න සැසරසුණා
මහසාර මහපොළව
ඇඟ දූලි ගෑවුණෙන්
රවා බිම දෙස බැළුව
මල් කැකුළු එරවුවා
හිතේ තෙතකුත් නැතිව
ළඟින් තිබු  තණ පතක්
සෙවෙණි කොට වට මලට
මහ පොළව දුක් වුණා
මියෙන මල පිළිබඳව

කඳුළු මල

හීන අහුරක අග
පිපි මුතු කැකුළු කොඳ මල
නෙලා දෝතට ගෙන
සඟව ගත්තෙමි
මගේ පපුතුර

තුත්තිරි

බුරුත කළුවර
කපං යනකොට
පයට පෑගෙන
ගහකි
තුත්තිරි

හඬන හද

තෙත බරිත
මගේ හද
ඉකි ගසා 
හැඬූ සඳ
ඒ හැඬුම්
හඬ ඇසුණු
ඔබත් හැඬුවා
තනිව

හිනස්සන හාදු

සිනා මලක් 
දමා ගොසින්
ඇවිත් මගේ
හද පොකුණට
කිති කව කව
හිනස්සනවා
මතක් වෙනා
හැම මොහොතෙම
හාදු දෙකක්
අරං ඇවිත්
තියා එකක්
නළල මතට
හංගන්නද 
තවත් එකක්
ඔය තොල් මත 
නොදැනෙන්නට

තනිව පිපි මල

ඈත ඈතක
පාළු උයනෙක
මලක් තනිවම
බිම පිපිලා ඇති
උයනෙ හිමිකරු
මලේ ලස්සන
දැක්කෙ නෑ වගෙ
ඉන්නවා ඇති
සුවඳ විහිදන්
පෙති සැලූවත්
තනිකමට මල
හඬනවා ඇති
වටේ එතෙනා
සුළං රළටත්
මල මලේ දුක
කියනවා ඇති
ඒ කියූ දුක
එතී සුළෙඟ්
ඈත දුරකට
පාව යන්නැති
මලට පෙම් කළ
ඈත බඹරෙක්
අසා ඒ දුක
හඬනවා ඇති