Blog Archive

Monday, December 22, 2014

ඒ සඳ හා මේ සඳ

සඳ ඒවිද ඔබත් එක්ක
මං වගේ ම අත් අල්ලං
සඳට සඳත් අමතක වන
හැන්දෑවල් ගෙවාලන්න
සඳ ඒවිද ඔබත් එක්ක
එළි වෙනතුරු තරු ගනින්න
ඔය උකුලේ හිස සතපා
එළි වෙන තුරු ගිම් නිවන්න
සඳ ඒවිද හිනා අරං
නුඹට ඔ්නෙ හැම වෙලේම
කඳුළු බින්දු අමතක කර
නුඹත් එක්ක හිනා වෙන්න
මං තරමට ආදරයෙන්
ඒ සඳ උන්නොත් නුඹ ළඟ
මං ඉන්නම් ඈතට වී
සඳක් නැගෙන තුරු අහසට

අතරමං හිරු

දැවී රත් වූ
අහස් තලයෙන්
සොයා යන්නට
සිසිල් නිවනක්
අතරමං වී
ඉමක් සෙව් හිරු
සයුරු තලයේ
කිමිදුණා

Wednesday, December 17, 2014

ආඩම්බර සඳ

වගාඩම්බර හිනාවක් ගෙන
පෝය හඳ අද
ඇවිත් අහසට
හැඬෙව්වා ඝන
අමාවක රැ
අහස සැරසූ
පුංචි තරු කැට

Monday, December 1, 2014

වළාකුලු

නිරුවත් අහසට
සේල පළන්දන
වළාකුලක දුක
අහන්නෙ කවුරුද

Thursday, November 27, 2014

ආයුබෝවන් චට්ටු කුට්ටන්



ජම්බු දීපෙන්
සිනා කැන් ගෙන
මෙරට ආවද
චට්ටු කුට්ටන්
ආව ගිය
ළඟ උන්නු හැමටම
ඔළුව නැමුවද
චට්ටු කුට්ටන්
කන්න බත් පත
අතට ගත්තම
ඔළුව ගහ ගෙන
චට්ටු කුට්ටන්
ගෙදර බත් නැති
පොඩි එවුං ගැන
කඳුළු හැළුවද
චට්ටු කුට්ටන්
සැමට හොඳ වී
දොරටු පාලව
දිවිය ජයගත් 
චට්ටු කුටුටන්
ගෙදර අය හා
හෝටලෙන් බත්
කන්න ලැබුණද
චට්ටු කුටුටන්
පදක්කං මහ 
ගොඩක් පපුවේ
දමං උන්නට
චට්ටු කුට්ටන්
කබායෙන් වැසු
හදවතේ දුක
ඇහුවෙ කවුරුද
චට්ටු කුට්ටන්
ගෙවුණු හැත්තෑ
දෙවැනි වසරෙත්
හිනා වී උන්
චට්ටු කුට්ටන්
ආයි එනතෙක්
ගාළු මුවදොර
ආයුබෝවන්
චට්ටු කුට්ටන්

Tuesday, November 18, 2014

හිරේ ගිය හිමි සඳුට

කුඩු විකුණලා
හිරේ ගිහින්
කූරු ගණින නිසා එයා
දරු බර
කර මත අරගෙන
පාරෙ දුවන යශෝධරා
මිනිහ වගේ 
හොරෙන් හොරන්
කුඩු විකුණල සල්ලි හොයා
දරු දෙන්නට 
කන්න දෙනවා
හැමදාමත් යශෝධරා
සිල්වා අයියා
කුඩු දුන්නට
විකුණ ගන්න දවස පුරා
අහු උනාම
බැලුවෙත් නෑ
හිරේ ගියපු මිනිහා දිහා
ඇස් රතු කර
හැන්දෑවට
පෑල දොරින් ඇවිත් ගියා
සල්ලි වලින්
ඇපල් අරං
බෝගම්බර ඊයෙ ගියා
ලෙඩ හැදිච්ච
පොඩි එකාට
බෙහෙත් ගන්න එක්ක ගියා
ලයිට් අරං
මහත්තයෙක්
පෙරේද ඇවිදිල්ලා ගියා
සීට් පහක්
වහලට දා
තෙමෙනා තැන් වහලා ගියා
ඒ ටික ගැන
හිලව් වෙන්න
මාත් එක්ක ඇඳට ගියා
එන්නැති උඹ
ගැන හිත හිත
හිටියොත් අපි බඩගින්නේ
ආස උනත්
නැතිව උනත්
කරනව මං මේ යුද්දේ
ඉන්න තැනක
උඹ හිටපං
හිත තද කර හිමි සඳුනේ
බැරිම උනොත්
සැඟ වෙන්නම්
ගැඹුර සොයා ළිං පතුලේ

Monday, November 17, 2014

යශෝධරා

යශෝධරා
මං එනකල්
කවුළුව ළඟ ඉන්නවාද
පුංචි පුතා
ලෙඩ හැදුනම
තාම රැට අඩනවාද
වීදි පහන්
එළි යට හිද
දුව පාඩම් කරනවාද
වහලේ තියෙන
හිල් අතරින්
තාමත් ගේ තෙමෙනවාද
විමුක්තියක් හොයාන මං
අබිනික්මන්
කළා නොවේ
නුඹ විදිනා
දුක් ගිනි ගැන
මගෙ හිත නොතැවුණා නොවේ
සිටු මැදුරක්
ගොඩ නගන්න
මං කුඩු විකුණුවා නොවේ
පොඩි උන්වයි
නුඹයි අරන්
රට යන්නට පැතුවා නොවේ
මූදෙ ඉන්න 
ලොකු මෝරුන්
දැල් කඩාන පැන යද්දී
සූඩ හාල්මැස්සන් පොදි
හිල් කූඩෙට අසු වෙද්දී
නුඹයි මායි පැතූ පතුම්
උඩු හුළඟට අසුවෙද්දී
අහස කඩන් බිම වැටුණා
බිම හෙල්ලී පෙරලෙද්දී
යකඩ කූරු 
ගැන ඉවරයි
දහස් වරක්
මේ වෙනකොට
ඉර දකින්නෙ
එක සැරයයි
සුමානෙකින් එක දවසක
නුඹෙ උණුහුම
මතක් වෙන්නෙ
සීතල පොළවට වැටුණම
සිය පාරක්
මැරෙනව මං
ජීවත් වෙන එක දවසට
මං බලන්න
ආයිත් නම්
බෝගම්බර එන්න එපා
දුවයි පුතයි
ඇහුවොත් මිස
මං ගැන යළි කියන්නෙපා
හිනා වෙලා
එන ලොක්කන්
ගේ ඇතුලට ගන්න එපා
පොඩි එවුන්ට
කන්න නැතත්
උඹ කුඩු විකුණන්න එපා

Wednesday, November 12, 2014

බැස ගිය රතු හිරු

කදුරුපොකුණ
නොවුන්න නම්
උලපනේට
නොගියා නම්
ගොල්ෆ් කෝස්
නොතිබ්බ නම්
ගෑස් යතුර
නොදුන්න නම්
වෙඩි උණ්ඩය
හිර උනනම්
විසි කරද්දි
නොවැටුණ නම්
දෙවනි පාර
නොදැම්ම නම්
බැස යාවි ද
ඒ රතු හිරු

නොරිකෝ

සකුරා මල්
හෙවන දිගේ
ඇවිද ගිහින්
ඔබෙ අත ගෙන
කබුකි බලපු
අතීතයට
යන්න ආයි
බැරි උනාට
ඒ සුන්දර
මතක සුවඳ
හැමදාටම
අපෙ හිත් වල
තියෙනව නොරිකෝ
- මං -
දෙවොන්දරා සං

දෙවොන්දරා

අඳින තුරා
ඔබ සිතුවම්
ඔබේ ළඟින්
වාඩි වෙලා
ඉන්න හිතුව
හැමදාටම
දෙවොන්දරා සං
තතමි පැදුර
මදි උනාට
ඔබෙ උරහිසෙ
හිස හොවාන
ළඟින් ඉන්න
මං පැතුවා
දෙවොන්දරා සං
මාව දාල
නුඹ ගියාට
මළ වුන්ගේ
අවුරුදු දා
නුඹ බලන්න
මම එනවා
දෙවොන්දරා සං

- මං -
නොරිකො සං

පර වෙන කුසුම



ඉර විතරයි
තනියට ළඟ උන්නේ
පිපෙන්න මට මේ
රළු පොළවේ
ආදරේට තනියට
නිදි මැරුවේ
තරු විතරයි
රැු ආකාසේ
සුවඳ විඳින්නට
නෑ කිසිවෙක් ළඟ
සුළඟ තමයි 
වට පිට හිටියේ
ඉන්න තවත් මට
ඉඩක් නෑනෙ ලොව
පරවෙමි මං
අද හැන්දෑවේ

මා මළ පසු



ඇවිත් තබා යන්න මලක්
මා නිදනා සොහොන මතින්
අතීතයේ අපි ළඟ වූ
සුවඳේ මතකය තවරා
හෙළා යන්න කඳුළු බිඳක්
දිය වෙන්නට පස් කැටයක්
නුඹ මා එක් වී පිර වූ
සිනහව එහි සිර කරලා
තබන්න එක සුදු කුසුමක්
මා හදවත තිබුණු තැනින්
නුඹ මගෙ හදවත රිද වූ
එක මොහොතක් සිහි කරලා
හෙළන්න එක සුසුම් පොදක්
නික්මී මග හැර සෙහොනත්
නුඹෙ හදවත මා ගැන ඇති
මතකය අමතක කරලා

Tuesday, November 11, 2014

ණයවර මීවිත


දමා මීවිත බඳුනට
එක් කර අයිස් කැබලි ද
තබා එය මුව මත
ගිල දැමිමි එක උගුරට
රත් වන විට දෙකණ
පිරි මැද දෑත් එක පිට
තවත් හරි බරි ගැසිමි
ගිලෙනා කුෂන් පුටුවක
අඩ අඳුරු හාත්පස
දිලෙනා නියොන් එළි මැද
දිදිළුනා දෑසක්
බලමින් හාත්පස නොක වර
ගැඹුරු වූ ළමැද ද
රත් පැහැ ගැණුනු දෙතොල ද
සුදු පැහැති දඟ යුග
කරයි මන්මත් දකින හැම දෙන
ඉඟිමරා මදෙසට
නගා මදහසක් දෙතොලට
ළං උනා මවෙතට
නොවිමසා කිසිවකුත් මා ගැන
ළං කර ලවන් සවණට
පටලා දෑත් මා මත
තනි වෙන්න යන්නට
කළා ඇරැයුම් සෙමින් මා වෙත
ණයවර පතත් ගෙන
ගෙවා බිව් මී බඳුනට
ඈ අත ගෙන නැගිමි
යන්න සුර දූත පුරයට
ණයවර පත් ම හැර
අන් කිසිවක් ම නැති පර්සය
අරගෙන දිව ගියා
ඈ මා දමා තනි කර

ඔබ ඉන්න තිබුණා


අහස හඬවා
අකුණු පුපුරා
වැසි වැටුණු දා
මා ළඟින් 
ඔබ ඉන්න තිබුණා
තනිව මාවත
තෙමී වැස්සට
කඳුළු වැල් මැද
ඉකි බිඳින විට
එක්ව යන්නට
මා ළඟින්
ඔබ ඉන්න තිබුණා
අහස වියැළී
ඉරත් ගිනි ගෙන
පොළව පුපුරා
දූලි නැගි සඳ
තනිව යන එන
මා ළඟින්
ඔබ ඉන්න තිබුණා
අහිමි නුඹ ගැන
ඉකි බිඳින සිත
ගලන කඳුළැලි 
වසන් කරනට
තනිව වද වෙන
මා ළඟින්
ඔබ ඉන්න තිබුණා
ජීවිතේ අවසන් නිමේෂෙට
තවරන්න හාදුවක් නළලත
හද රැඳුණු සෙනෙහෙත් අරං
ඔබ ඉන්න තිබුණා

පැතුම


හිරුට කළියෙන් පිබිද
වඩින තෙක් හිරු ලොවට
මග බලා පෙරුම් පිරු
කැකුළු කොඳ මලයි මම
ඈත දුර පිපුණාට
ළං වෙන්න බැරි දුරක
පෙම් නොකර ඉනු කෝම
හිරු මලට මං දකින
පූදින්න පොර බදන
අන් කැකුළු වලට පෙර
පිපී හිනැහුණෙ මමයි
දකින විට හිරු මඩල
නැගී පෙර දිග හිසින්
අහස් කුස පූදින්න
අවරදිග ගිරි හිසින්
හවස් කළ බැස යන්න
ඉන්න  බැරි මට ළංව
තුරුළු වී උණුහුමට
නමුදු මම පෙම් කරමි
මා දවන සෙනෙහසට
උන්නොතින් හෙට දිනෙත්
ඉමි දෑස් දල්වාන
මියැදුණොත් පෙම දෙන්න
හෙට පිපෙන මල් වලට

දුක හා සතුට



තාත්ත නැති තනි නිවෙන්න
අම්මා රට ගිහිං එව්ව
වයලීනයෙ සත්සර හඬ
අහන්න කවුරුත් නැති සඳ
පාළු නිසල මග කෙළවර
වයලීනයෙ තත් පිරිමැද
සිහින් සරින් මා වැයු හඬ
නුඹලා අහගෙන උන්නද
පාළුව තනිකම මැකෙන්න
නුඹලත් නැති රැ තුන් යම
වයලීනය විතරයි ළඟ
අහන් ඉන්නෙ මගෙ දුක් හඬ
අම්මා යළි ආ දාකට
තුරුල් වෙලා අම්මා ළඟ
හිතේ තියෙන දුක නිවෙන්න
අඬනව මං ඉකි හිර කර
ඒ දාටත් අද වාගෙම
වටකරගෙන නුඹ හැම ළඟ
වයනව මං වයලීනය
දෝරෙ ගලන සන්තෝසෙට

පෙම්වතිය ඇතහැරි කුඩය කිව් කව


වැසි විත් වැළකූ
පෙම්බර ගමනට
මා හා ආවත්
ඔබ තනියෙන්
මහ වැසි බාධක
මැද ඔහු ආවා
දැක ගන්නට ඔබ
පුරා නෙතින්
තෙත් කර ඔහුගේ
හිස හා සියොළඟ
වට මහ වැහි පොද
අකුණු සරින්
අඩුවක් කළෙ නෑ
හද රැඳි උණුසුම
බලාන උන් ඔබෙ
සෙනෙහෙ නමින්
දිව්වත් මා හැර
ඔහුගේ තුරුළට
අමතක කර මා
තණ පළසින්
දන්නව මම නුඹ
නොතෙමෙන වග යළි
හිඳින තුරා ඔහු
ඔබේ ළඟින්
තනි වී ඉන්නම්
වැතිරී තණ මත
එනතුරු යන්නට
යළිත් ඉතින්
වැහි පොද ඉඳීවි
තනියට මං ළඟ
තෙමෙනතුරා ඔබ
සෙනෙහෙ දියෙන්

අහිමි විහඟ සර


තනිව සරනා අහස
සොයා ගෙන මග හසර
තවත් ඉගිලෙමි තනිව
නැති නිසා නුඹ ළඟක 
චණ්ඩ වූ රළ පෙළට
ගිලී වැතිරුණු බිමෙක
කෙස් මම සොයන්නද
නුඹ උන්නු තැන වැතිර
දෙදරවා අහස් කුස
පුපුරණා හෙණ හඬට
දැනේනට බියක් කෝ
දුක මිසක් හද කොණෙක
එන තුරා ඔබ වෙතට
මග බලා උන්නු නුඹ
උන්නු තැන නෑ ළඟක
ගිලී දිය සුළියකට
දුක දරා අහස් කුස
ඉගිල යමි අනන්තෙට
සොයන්නේ කොහොම නුඹ
මටත් මම අහිමි කොට

හෙට එච්චර කළුවර නෑ


දැවී ගිනි ගත් බිමේ
කටු වැටේ මායිමේ
හිනා කැන් වැරූ සඳ
හැර ගිහින් නිළඹරේ
කිරි සිනා සැඟවුණේ
සිහින බොඳ වූ බිමේ
පාපයට නොවේමැයි
මගෙ පුංචි දෝණියේ
වත සිනා නොපිපුණේ
කඳුළු වැල් ඉහිරුණේ
වෙඩි හඩට බයේ නොව
දුක නිසයි හදවතේ
දෙමාපිය සෙනේහේ
නොලැබුණත් අද දිනේ
හිනැහෙන්න කඳුළු මැද
මල් පිපෙයි හෙට දිනේ

තාත්තියෝ


තාත්තියෝ අද හවසට
ඊයේ රැ මට පෙනිච්ච
පාට පාට හීනෙ අරං
ඉක්මනින් ම ගෙදර එන්න
නැගගෙන මං
ඔය බඩ උඩ
තුරුල් වෙලා
ඔය පපුවට
ඉන්න බලං ඉන්න නිසා
ඉක්මනින් ම ගෙදර එන්න
ඇත උඩ මං
තුරුල් වෙලා
අහන කතන්දර කියන්න
නින්ද යන්න කළියෙං මගෙ
නළලට හාදුවක් දෙන්න
තාත්තියෝ අද හවසට
ඉක්මනින් ම ගෙදර එන්න

නටඹුන් මතක



පිපී හිනැහුණු
සුවඳ මල් වල
සුවඳ කැන් පොද
උදුරලා
පරව යන තෙක් 
බලා උන්නද
හිත යටම දුක හංගලා
මතකයේ මග
අතර මං වූ
සෙනෙහසේ රිද්මය
සොයා
නටඹුන්ව ගිය
මතක අතරේ
තනිව තව යනවද
ඔයා
හිතේ හැම කොණ
ඉතුරු වී ඇති
සෙනෙහසේ සුව
සොය සොයා
අපිට අපි නැති
ලෝකයේ අපි
තනි තනිව ඉමු
ළං වෙලා

අයං වස්සාන කාලො


නුඹෙ අතර රැඳි
පුංචි කුඩයේ
තෙමී නොතෙමී
පාළු මාවත
ඇවිදාන ගිය
ඔහේ තුරුළුව
හිරි කඩින් මුළු
ගතම නැහැවුණු
ඒ සොඳුරු වස්සානයයි
තුරුල් කර ඔබ
වත මගේ ළය
රැඳුණු වැහි බිඳු
දෙතොල් මත් කළ
නුඹේ උණුසුම
නිතර ළඟ රැඳි
ඒ සොඳුරු වස්සානයයි
ඒ මග ම අද 
අපි තනිව යන
දුටුව මුත් අපි
අපි නාඳුනන
එදා මෙන් නොව 
අකුණු පිපිරෙන
මේ අඳුරු වස්සානයයි

පුන් කළස



අහස් ගඟ උතුරා ගලා විත්
හිමව් ගිරි කුළු ඉහිරවා
සිහින් සර ල් තුහින ඉහිරා
මහෝඝය වී ඉතිරුණා
පිරී ඉතිරී විසිර දස අත
සිහින් සැනසුම් සුව ගෙනා
වහින වැස්සට කරමි මම පෙම්
වසන්තයෙ අග පිබිදෙනා
සිහිල සැනසුම දෙවා හදවත
කරන උණුසුම් හැඟුමිනා
ගෙනේ නිරතුරු නිරාමිස සුව
වසින සඳ දිය වී වලා
පුන් කළස් ඉතිරී පිටාරව
ගලන තුරු පිරි පැන් සදා
වාසනාවන් වහින වැහි පොද
අහස් ගැබ තරු ඉහිරවා

ළඟ නැති ඔබ



නුඹ
ළඟ නැති සඳ
සුවඳත් හිමි නැති
නුඹෙ සෙවනැල්ලට
පෙම් කරන්න 
මා
පෙළඹෙව් හැටි
නුඹ

පොද සහ මේඝය


සිහින් පොද
වැස්සක් ව
ඉන්න,
මම
එන තුරා
නොවී
මහ මේඝයක්

තෙල් බිඳු



තලන තැලෙන ජීවිතයේ
සිඳින මඩින තෙල් අතරේ
දුකින් ගෙවන ජීවිතයේ
අරුමය සොයමුව කෙළෙසේ
දහඩිය සුවඳට මුසු වී
සැදෙනා තෙල් රස බර වී
එක් වන බිඳු බිඳු රැස් වී
ඇත දුක පදමට මුසු වී
දිරිය මිසක් හද පතුලේ
නැත අන් කිසිවක් තිබුණේ
ජීවන ගඟ මැද පතුලේ
තෙල් වල සුවඳයි දැණුනේ
වියපත් වුව ගත ද සිතින්
නවතනු කෙලෙසද දිවි මං
තෙල් බිඳකට හෙලන සුසුම්
දනී ද ඔබ කියණු ඉතින්

නිරූපිකාවගේ පේ‍්‍රමය



සිත්තරා නුඹ මගේ හද ගත්
ඇඳි මගේ හදවතේ සිතුවම්
නෙත් කොණින් 
මා දෙස බලාගෙන
ඇන්ද මල් කැටයම්
තවත් එක් යුවතියක් වූවට
නුඹේ කුටියේ තනිව ළඟඋන්
නුඹට ළං වී පෙම් කරන්නට
සිත හඬයි තනියෙන්
නුඹේ උණුසුම් සුරත අතරේ
සැඟවෙනා පින්සලක් සේ වී
ළඟින් ඉන්නට සිහින මවනා
ළබැඳි බොළඳිය මං
විරාගික නුඹේ සිතේ අද්දර
උවැසියක වී පිං කරන්නට
අහිංසක හීනයක් පොදි බැඳ
සසර මග එන්නම්
වෙන් වෙලා දුර ගියත් හෙට දින
මැකී ගිය මුත් මගේ හැඩ රුව
මා හිතේ නුඹ නමින් ඇඳි පෙම
ඇත සදා නොකැළැල්

පේ‍්‍රමයේ මතක බණ වර



කියන්නට බණ වරක් ඔබ ගැන
පින් සිරිත් කර සෙනෙහසින්
කල් වැඩියි නෙව
වයසකයි දැන්
යෞවනේ ගෙවිලා ගිහින්

අමතකව නොව මතකයෙන් මම
මකා දැමු පේ‍්‍රමයෙ සුසුම්
පින් සිරිත් කර
කෙසේ යවමිද
දැක ගන්න මොක් පුර උතුම්

ඔබට මම නැති මටත් ඔබ නැති
ලොවක් කිසි දින නොපැතුවෙන්
දරා ගත නුහු
අපේ කඳුළැලි
අපෙ දෙපා මුල වැතිරියන්

කඳුළු බිඳු වුව
හීතලයි ඒ
හිරිකඩට වට කවුළුවෙන්
ළමැද හූරා
නෙතින් වැටුණා
දරා ගන්නට බැරි ලෙසින්

මගේ නිරුවත් දෙපා මත්තේ
හිස හොවා වැඳ සෙනෙහසින්
ගිය නමුත් ඔබ
ඔබේ මතකය
සිත පුරා ඇත පෙර ලෙසින්

මදි වූ කාලය



අහස් ගැබට පෙම් කළාම
අහසෙ තිබුණු තරු කැටයට
පෙම් නොකරම ළඟින් ඉන්න
මතක නැති උනා
මුළු අහසම රළු උනාම
තරු එළි මැකිලා ගියාම
මට මං නැති අඳුරු ලොවක
තනිව හිර උනා
තනි වූ හිත ඉකි බින්දම
ඒ ඉකියට බය හිතුණම
මාව හොයා ගන්න මට ම
තක නැති උනා
මගෙ හිත යළි මියැදුනාම
ළඟ උන් අය හැර ගියාම
ජීවිතේට පෙම් කරන්න
කාලෙ මදි උනා

තනි ගසේ ගීතය


හිස් අහසක් යට
දිය පලසක් ළඟ
තනිවී උන්නා මං පෙර දී
සිහිස් සුළං වැද
පිණි වරුසා මැද
තනිවම වැඩුණා දිවි මග දී
කවුරුත් නැතිවම
උන්නත් නැතිවම
නැගෙනතුරා මම උස් ගස වී
කුරුළු කිරිල්ලන්
ඉන්නව මං ළඟ
දැන් මං තුරුණුයි ඇති දැඩි වී
පාළුව තනිකම
දැණුනම තාමත්
සිහි වෙනවා උන් හැටි පෙර දී
තනිකම තනිකර
එනවා ආයිත්
සිතිවිලි තුළ තෙරපී තෙරපී
සිඳුණම වැව් දිය
වේලී වැව් බිම
කුරුළු කිරිල්ලන් යයි ඉගිලී
ආයිත් එන්නෑ
මාව දකින්නට
මල් ඵල නෑ මං ළඟ සතු වී
වැහි දිය බේරී
පිරුණම මහ වැව
දළුලනවා මං
අතු ඉතිරී
ආයිත් ඒවී
මං ළඟ තනියට
කුරුළු කිරිල්ලන් රැළ ඉගිලී

ඔයාලයි මායි



මේ වැස්සේ මං තෙමුණොත්
අම්ම බනියි අනේ හුඟක්
ඒ හින්දා අසා උනත් 
මට තෙමෙන්න බෑ
කුඩේ යටින් මාත් එක්ක
නොතෙමි යන්න අඩ ගැහුවට
මාත් එක්ක ගෙදර යන්න
ඔයාලා එන්නෑ
වැහි පොද යට දඟ කර කර
මඩ වතුරේ දුව පැන පැන
යන්න තියෙන මගේ හීන
ඔයාලා දන් නෑ
නුඹ විඳිනා මට හිමි නැති
ඒ නිදහස නැති උනාට
අම්ම එක්ක මගේ හිතේ
තරහක් නම් නෑ

උරුගුවේ ගංජා නීතිගත කරයි



හිතට දුක් නැති
කිසිත් දන්නැති
අමතකව ගිය මතකයේ
ගිලී සැනැහී
ඉන්න තිබුණා
සුවඳ පිරි මල් මතකයේ
දුමින් පණ පෙව්
සිහින වල උන්
ළබැඳි හදවත් මල් වගේ
ඉන්නව මගෙ
හැබැහිනුත් ළඟ
සිහිනවල උන්නා වගේ
දකින්නට මල්
සිහින හැම දින
නීති නැතිවී නිදහසේ
කොයි තරම් 
ආශික් ද බං මං
ඉපදුණා නම් උරුගුවේ

දකිනවා සිහිනයක් - පශ්චාත් යුධ කතාව

බිඳ වැටුණු ලෝකයේ
පා නගා ඇවිදින්න
බිඳුණු මතකය ඉමේ
තටු සලා පියඹන්න
නැගී මේ බිම මතින්
තනියෙන්ම නැගිටින්න
දකිනවා සිහිනයක්
ජීවිතේ ජය ගන්න
අකුරු නැති පිටු පුරා
කඳුළු බිඳු නොවැටෙන්න
ගුරුන් නැති මේ බිමම
වචනයෙන් පුරවන්න
මට අහිමි ලෝකයේ
මතු දිනෙක රජ වෙන්න
දකිනවා සිහිනයක්
ජීවිතේ ජය ගන්න
අම්මගේ නෙත් වලින්
කඳුළු බිඳු පිසලන්න
තාත්තගෙ වතමඩල
සිනාවෙන් පුරවන්න
දිනෙක දිනනා දාක
හැමෝවම රැක ගන්න
දකිනවා සිහිනයක්
ජීවිතේ ජය ගන්න

පෙර සුවඳ



සිහින තවරා
මගේ හදවත
පැතුම් පොබකර
ආදරෙන්
හිතේ සිව් කොණ
නුඹ උන්නු තැන්
තාම සුවඳයි
පෙර ලෙසින්
අතින් අල්ලා
ළයට තද කර
පිය නැගූ මග
කෙළවරින්
තවම පෙනෙනව
අපේ සෙවනැලි
යනෙන දහසක්
රූ මැදින්
එවන් මතකෙට
පෙම් බැඳන් මම
තවම ඉන්නව
පෙර ලෙසින්
ළඟට ආවත්
නුඹ නොආවත්
ආදරෙයි මම
මුළු හදින්

නුඹ ගිහින් මගෙ සුරඟනා



තුරුළු වී සිහිනයෙන් 
මට ඔබ
දෑස් පියවුණු රැු පුරා
දඟ කලා මතකයි
ළඟින් හිඳ
සුපෙම් හදවත ඉහිරවා
නින්ද කැන්දන්
එක්ක ගිය සඳ
සුවඳ පමණක් පුරවලා
මගේ තනියට මලක් තියලා
නඹ ගිහින් මගෙ සුරඟනා

කඳුළ



අඬනු බැරි සඳ නෙතින් ගිලිහී
වැටුණු කඳුළට බර වෙලා
අහස් ගඟ බඩ රිදී තරුවක්
බලා උන්නා තනි වෙලා
වියැළිලා තව තනිව ඉන්නට
බැරිව උන් බෝපත් තලා
අසෙණි වැස්සක් බිමට වැටුණා
වියළි කොළ හැම විසුරලා
තෙමී වැස්සේ ළංව තුරුළුව
යනෙන අය දෙන නෙත් හෙලා
දුකින් උන්නා නැති නිසා ළඟ
හිතින් හිත ඇඳිනුව කෙනා
එන තුරා මග බලා ඉන්නට
හිතේ දුක් කඳ හංගලා
දෙතොල් පෙති අග මලක් පිපුණා
ළංව උන් කළ සිහි වෙලා

නැවුම් සෙනෙහස



තුන් තිස් පැයම
හිත රැඳෙනා සෙනේහෙට
නුඹ මා ළඟයි
හිත ඉල්ලන වෙලාවට
පා පොඩි තබා
ඇවිදින හිත පුරාවට
මං ළඟ ඉන්න
නොගිහින් කිසි දිහාවක

කඳුළැලි මල් වලින්
සැරසූ හිත යට ම
පිපෙනව නැවුම් මල්
ගලනා පෙම් සුවඳ
පිනි කැට වැටී
උතුරන විට සිත් විලම
අරගෙන යන්න
දිය දෝතක් හදවතට

බිඳෙනා තැනෙක
රළ පෙළ සසලව රඟට
සිනහව පෙනේ
නැතිවත් නුඹ මා අසල
දුන් ලෙස හිතට
සැනසුම් සුසුමන් සමග
සිහිනෙක ඉන්න
සැමදා තුරුළුව ළයට

ඔයයි - මමයි


මව් පියන් අප
ළඟ නොවුණු සඳ
අපි අපිට තනියෙන්
ළංව උන්නා
මගේ ළඟ ඔබ
මා එක්ක නිබඳින්
නුඹට මා මිස
මටත් නුඹ මිස
කෙනෙක් නොවු විලසින්
නුඹේ දුක් කඳ
මම මගෙ ම කර
රැඳෙන්නෙමි නිබඳින්
බරක් නෑ මට
නුඹේ නැති පය
සවිය වී රැඳෙමින්
ඉකිය සිර කර 
කඳුළු සඟවා
හිඳිමි මම සතුටින්
සවිය වී මම
නුඹ යනෙන මග
එක්ව යමි නිතැතින්
කියන් මට නුඹ
නුඹ නොමැති දා 
හිඳී දෝ කවුරුන්

මලේ දුක් කවිය

-නිමිත්ත-
පොද වැස්සක් වැස්සා
ඒ වැස්සෙ
අත් අල්ලං තෙමෙන්න
මං
ඔයා එනකල් බලා උන්නා
ඔයා ආවෙ නෑ
පොද වැස්ස
අසෙණි වැස්සක් උනා
ඒ වැස්සෙ 
මං
තනියම තෙමුණා


නටුවටත් බර වැඩිව
වැහි පොදට තෙත බරිව
මහ පොළව සිප ගන්න
මෙහොතකට පෙරත් මම
හිතුවා
එයි කියා අහස වෙත 
දකින්නට ඔබේ රුව

කම්පිතව මුළු අහස
හඬනවා දුක් බරව
ඔයා නැති අහස් කුස
පාළුයිනෙ හැමදාම
වැහි පොදට තෙමුණා
තෙමී බිම වැටුණාට
ආදරෙයි වැහි පොදට
මං
ඔයා උන් තැනින් එන

පර වෙන්න ඉඩ නැතිව
නටුව බිම හෙළුවාට
දුකක් නෑ මගෙ හිතට
හිත නෑනෙ මගේ ළඟ
මියෙන එක ගැන තනිව
දුකක් නෑ මගෙ හිතට
හිත දැවෙන්නේ බයෙන්
මං
නැති දාක එතැයි ඔබ

ජීවිතේ ඉතිරි ටික



මරණයට පෙම් බඳින
පෙති සිඳුණු ජීවිතය
බලා ඉමි එනතුරා
ඉක්මනින් මගෙ ළඟට
දැනෙන සිත් පීඩාව
දරා ගත නුහු තැනෙක
මීවිතට පෙම් බඳිමි
අමතකව ලෝකයම
සෙනෙහෙ පෑ අය සිටින
ලෝකයම අමතකව
තනිවෙන්න ඇහැකි නම්
මතකයන් අතරමග
සතුට පිරි සෙනෙහෙ පිරි
අතීතයෙ දැණුනු සුව
විඳින්නේ කොහොම යළි
හැර ගිහින් සදහටම
මීවිතින් වරම් දෙන
කල් ගෙවී ඉවර තැන
සමු ගන්න බලා ඉමි
ජීවිතේ ඉතිරි ටික

පා බිඳුණු නළඟන



තටු සලා අහස් කුස
නිදහසේ පියඹන්න
දුටු හීන බිඳී ගොස්
අත වනමි කළුවරට
දෙපා ඇති උන් අතර
හිනැහෙමින් නටන්නට
වරම් නෑ යළිත් මට
අසරණයි හදවතම
නටන ඔබෙ දෙපා යුග
සලිත වන ලතාවට
පෙම් කරමි මම තවම
බැරි උනත් නැගිටින්න
හිනැහෙමින් නැගී මට
නැඟූ ඔල්වර හඬම
මිමිණුවා වැටුණු මට
යළිත් නොනැගෙන ලෙසට
රුදුරු ලෝකයෙ ඇසට
වසන් වී ලතාවට
නටාපන් දිනන්නට
හිනාවෙන ලෝකයම
දිනන්නට පැතු ලොවම
කඩා වැටුණත් මුලට
දිරි ගනින් හදවතට
වැටි වැටී නැගිටින්න

තනි රකින වස් දඬුව



මගේ ළඟ නොතනියට
අවසාන රැ ගෙව්ව
තාත්තා මට දුන්න
වස්දඬුව විතරක්ම
තාත්තගෙ සුවඳ පොද
ගෙනෙනවා මගෙ ළඟට
අහස් වියනේ යටින්
තාත්තගෙ හිනාවෙන
මූණ දකිනට තාම
කඳුළු පිරි ඇස් වළිං
මං බලනවා අහස
මගේ දඟ බලන්නට
ළඟ උන්නෙ නැතිවාට
නිරතුරුව හිත ගාව
ඉන්නවා නොතනියට
තාලයක් හොයාගෙන
වස්දඬුව පිඹින්නට
මං ගත්තු දිග කාලෙ
හීනෙනුත් ළඟ උන්නු
තාත්තා ගැන වැයෙන
මගේ පද අහන්න
මගේ ළඟ අද ඉන්නේ
නුඹ විතරමයි

අවසන් සිහිනය



පෙනෙන්නට නාවාට කම් නෑ
අහස් කුස සැරිසරනවා නම්
බිඳක්වත් මගෙ හිතට දුක නෑ
නුඹේ හිත සතුටින් හිඳී නම්
ළං වෙලා හිනැහෙන්න මං ළඟ
ආයෙ කවදාවත් නොආවත්
ආදරෙයි මං තාම ඔය හිත
මගේ හිත ළඟ නතර නොවුණත්
පර නොවී ළඟ ඉන්න හිතුවට
නුඹේ හිත ළඟ හෑමදාමත්
ඉන්නවා මං මග බලාගෙන
එනව නම් ඔබ ගෙන හිනාවක්
මධුවිතින් ඉඩ දෙන තරම් කල්
ඉන්න පතනව ඔබ නිසා මං
යන්න පෙර ඔබ මා නොආවොත්
පතමි දිවි මග වාසනාවන්