මං එනකල්
කවුළුව ළඟ ඉන්නවාද
පුංචි පුතා
ලෙඩ හැදුනම
තාම රැට අඩනවාද
වීදි පහන්
එළි යට හිද
දුව පාඩම් කරනවාද
වහලේ තියෙන
හිල් අතරින්
තාමත් ගේ තෙමෙනවාද
විමුක්තියක් හොයාන මං
අබිනික්මන්
කළා නොවේ
නුඹ විදිනා
දුක් ගිනි ගැන
මගෙ හිත නොතැවුණා නොවේ
සිටු මැදුරක්
ගොඩ නගන්න
මං කුඩු විකුණුවා නොවේ
පොඩි උන්වයි
නුඹයි අරන්
රට යන්නට පැතුවා නොවේ
මූදෙ ඉන්න
ලොකු මෝරුන්
දැල් කඩාන පැන යද්දී
සූඩ හාල්මැස්සන් පොදි
හිල් කූඩෙට අසු වෙද්දී
නුඹයි මායි පැතූ පතුම්
උඩු හුළඟට අසුවෙද්දී
අහස කඩන් බිම වැටුණා
බිම හෙල්ලී පෙරලෙද්දී
යකඩ කූරු
ගැන ඉවරයි
දහස් වරක්
මේ වෙනකොට
ඉර දකින්නෙ
එක සැරයයි
සුමානෙකින් එක දවසක
නුඹෙ උණුහුම
මතක් වෙන්නෙ
සීතල පොළවට වැටුණම
සිය පාරක්
මැරෙනව මං
ජීවත් වෙන එක දවසට
මං බලන්න
ආයිත් නම්
බෝගම්බර එන්න එපා
දුවයි පුතයි
ඇහුවොත් මිස
මං ගැන යළි කියන්නෙපා
හිනා වෙලා
එන ලොක්කන්
ගේ ඇතුලට ගන්න එපා
පොඩි එවුන්ට
කන්න නැතත්
උඹ කුඩු විකුණන්න එපා
No comments:
Post a Comment