Blog Archive

Tuesday, November 4, 2014

-----වීදි සරන්නී------


කොටුවෙ බෝධිය ළඟින්
වීදි බැස සරන්නී
දවසකට දෙපාරක්
මත් දුමක් උරන්නී
එකක් හැට ගානෙ ගෙන
සුවඳ දුම් පුදන්නී
ගමේ සිටිනා පැටව්
නිතර සිහි කරන්නී
අනුරපුරෙනුත් එහා
හෙන් කෙටු කාලයේ
දිවා කල ගිනි හිරුට
දහඩියෙන් පිදු ලියේ
මොණර කොළ වල හැඩට
පෙම් බැඳන් ආ දිනේ
ජීවිතේ නැවතුනා 
මැෂින් ළඟ කලාපේ
මලක් ළඟ කැරකෙනා
ලෙස නිතර සමණලුන්
නිරන්තර කැරකුණා
අත පතා ඈ ළඟින්
පැතුව මුත් සෙනෙහසක්
සුන්දරව උන් ළඟින්
නැවතුනේ මරදානෙ
ලොජ් එහෙක කාමරෙන්
හේන මත හැපි හැපී
දුක් විඳින මා පියන්
හිතන්නේ මහන බව
ඈ තවම නෙක ඇඳුම්
දනී නම් සරණ බව
වීදි ඈ නෙක වෙසින්
පැලේවී හද හතට
දැනෙන දුක් කඳ මැදින්
හිස හොවා ළැම තලේ
සුව පහස සොයන්නන්
ඇගේ දුක් අහන්නට
නොරැඳෙතී බිඳක්වත්
දහඩියේ පෙඟුණු ගත
ඔසවලා ඇඳ මතින්
දුක කියයි බෝධියට
වැඳ වැටී දණ මතින්

No comments:

Post a Comment